Saturday, December 23, 2017

පොඩ්ඩොන්ගේ භාෂාව...


දවසක් අපි අපේ ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ වේදිකාව උඩ පෙර පුහුණුවීමක් කර කර හිටියා.  එතකොටම අපේ එක වසරේ හෝ දෙක වසරේ පන්තිවල පොඩ්ඩෝ ගොඩාක් ප්‍රධාන ශාලාවට ඇතුල් වුණා. හැමෝම කතා කරනවා. පොඩ්ඩෝ 300 ක් විතර එතන හිටියා. ප්‍රධාන ශාලාවේ සිවිලිම බිමට වැටෙන තරම් සද්දයක්. අපිට අපි කියන දෙයක් වත් ඇහුනේ නෑ.

මේ සද්දෙත් එක්ක අපේ වැඩේ අපිට කරගන්න බැරි නිසා ශිෂ්‍ය නායිකාවක් ගිහින් හයියෙන් කෑ ගහලා කිව්වා නිශ්ෂබ්ද වෙන්න කියලා.
මොන. ඒ සද්දේ පොඩ්ඩොන් ට ඇහුනේ වත් නැතුව ඇති. ඒක නිකන් මුහුදු වෙරළේ ඇල් පෙන්තක් බිමට වැටෙන සද්දයක් වගේ හුළගේ පා වෙලා ගියා.

පොඩ්ඩෝ පොඩ්ඩොන්ගේ කතා. ඊට පස්සේ අපේ දෙතුන් දෙනෙක්ම ගිහිං මහා හයියෙන් සද්දයක් දැම්මා නිශ්ෂබ්ද වෙන්න කියලා. ඒත් කලින් වගේ මයි. පොඩ්ඩොන්ට ගාණක් වත් නෑ. අපිට තේරුණා පොඩ්ඩොන් ට එහෙම කියන එක පලක් නැති වැඩක් කියලා. 

අපි දැක්කා එක වසරේ මිස් ලා ටික මොකක් හරි සාකච්ඡාවක් කරනවා. අපිටත් අපේ වැඩේ කරන්න බැරි හින්දා අපිත් පොඩ්ඩක් බලන් හිටියා මොකද්ද වෙන්නේ කියලා. ඒ අතරේ අපි දිගටම උත්සාහ කරා පොඩ්ඩොන්ගේ සද්දේ නවත්තන්න නිශ්ෂබ්ද වෙන්න කියලා හයියෙන් කෑ ගහලා. ඒත් වැඩක් වුණේ නැහැ.

ටික වෙලාවකින් සාකච්ඡාව ඉවර ක‍රපු එක වසර පන්ති භාර මිස් කෙනෙක් නැග්ගා වේදිකාව උඩට. අපිත් බලන් හිටියා දැන් අපි මෙච්චර කෑ ගහලා කරන්න බැරි වුණු එක මිස් කොහොමද කරන්නේ කියලා. මොකද අපි පස් හය දෙනෙක් ම මහා හයියෙන් කෑ ගහලා එපා වෙලා හිටපු නිසා.

මිස් ආවා. එක සැරේටම "ළමයි..... අත් උස්සන්න.. අත් පහත දාන්න" කිව්වා විතරයි ඔක්කොම ඒක කරන්න ගත්තා..  "අත් උස්සන්න.. අත් පහත දාන්න.." කියල තුන් සැරයයි කිව්වේ.  කට්ටියම මීයට පිම්බා වගේ. ඊට පස්සේ මිස් ඒක නවත්තලා නිවේදන කීපයක් කරා. කිසිම සද්දයක් නැහැ.

අනේ ඉතිං අපිට හොඳටම හිනා. අපි නිශ්ෂබ්ද කරන්න හදපු විදිහ පොඩ්ඩන්ට ගැලපුනේ නෑ. එදයි අපිට තේරුනේ පොඩ්ඩොන් ට කතා කරන්න වෙනම භාෂාවක් තියෙනවා කියලා.  අපිත් පොඩි කාලෙ ඔය අත් උස් පහත් කරන වැඩේ කරාට මම දැනගෙන හිටියේ නැ ඒ කරන්නේ ළමයින්ව නිශ්ෂබ්ද කරන්න කියලා. 

1 comment: