Sunday, January 31, 2021

දිය ඇලි දඩයම 2 (මාකෙළි ඇල්ල, අහස් බොකු ඇල්ල, පිළිතුඩු ඇල්ල)

දැනට අවුරුදු දෙකකට කලින් වගේ ගියපු තැන් ටිකක්. මේ ගමන ටිකක් විශේෂයි. 4 දෙනාගේ පවුලට තවත් එක්කෙනෙක් ගන්නවද නොගන්නවද කියලා තෝරන්න ගියපු trip එක. ඒ මනුස්සයා ඒක දැනගෙන හිටියෙ නෑ හැබැයි.  අනිත් එක, බොහොම හදිස්සියෙන් තමයි යන්න තීරණය කරේ. ගොඩාක් Plan කරපු ගොඩාක් trip ගොඩාක් ගිහින් තියෙන නිසයි එහෙම කරේ. අපි හෝමගමින් පිටත් වුණේ 6ට වගේ. නාන්න යන්න එපා, පරිස්සමින් වගේ දේවල් ගොඩාක් ඇහුණා තමාලිලාගෙ ගෙදරින්. අපි town එකකින් නවත්තලා උදේට කෑම කෑවා. හොරණ, බුලත්සින්හල හන්දියෙන් මතක විදිහට. අපි මුලින්ම ගියේ පාහියන්ගල ලෙන බලන්න. 
පාහියන්ගල ලෙන ගැන කිව්වොත්, අවුරුදු 48000 කට විතර කලින් බලන්ගොඩ මානවයා වාසය කරා කියලා සැලකෙන ලෙන.  මෙතනින් හමුවුණු වසර 38000 කට වඩා පරණ මානව අස්ථින් වලින් හඳුනා ගෙන තියෙන විදිහට ඒවා ආසියාවේ නූතන මානවයාගේ (Homo sapiens sapiens) පරණම අවශේෂ කියලයි කියන්නෙ. ඒ වගේම අනුරාධපුරය රාජධානිය ලෙස තිබෙන කාලයේ චීනයේ ඉඳලා ලංකාවට වැඩම කළ චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වන “පාහියන්” හිමියන් මෙම ලෙන තුල භාවනා යෝගීව වැඩ වාසය කරා කියලා සැලකෙන නිසා මෙම ලෙන පාහියන් ලෙන කියල නම් කරලා තියෙනවා. මේ ලෙන දඹුලු ලෙන් විහාරය වගේ තුන් ගුණයක් විශාලයි කියලා කියනවා. ඒ වගේම මේ ලෙන ඇතුලේ එකම වෙලාවෙ මිනිස්සු 3000 කට වගේ නොතෙමී ඉන්න හැකියාව තියෙනවාලු. ඒ කාලෙ භාවිතා කරපු ආයුධ, ආභරණ වගේ තව ගොඩක් දේවල් මෙතනින් හමුවෙලා තියෙනවාලු. පාහියන්ගල ලෙනට යන පඩිපෙල නගින්න නම් පොඩ්ඩක් අමාරු වුණා අපිට කාලෙකින් නැග්ග නිසා.
 




අපි ඊට පස්සේ ගියේ මාකෙළි ඇල්ල බලන්න. යන අතරමග හම්බෙච්ච පාලමක් උඩ එකක් කරන්නත් අමතක කරේ නෑ. නෙළුකැටිය රක්ෂිත වනාන්තරයට අයිති මාකෙළි ඇල්ල කළු ගඟට එකතු වෙලා තමයි මුහුදට වැටෙන්නේ. ඇල්ල බලන්න පොඩ්ඩක් පහලට යන්න ඕනෙ පඩිපෙලක් බැහැලා. ඇල්ල ගාවින් නාන්න නම් බැහැ. 
 



ආපු පාර දිගේම ටිකක් දුර යද්දි නාන්න තැනක් හම්බුණා. එතනින් හොඳට නාලා දවල්ටත් කාල අපි අත්වැල්තොට පැත්තට යන්න පිටත් වුණා. අපි එද්දි ආවේ  ගඟ දිගේ උඩහට. ඒ හරියේ පාර නම් එච්චර හොඳ නෑ. දැන් නම් කොහොමද දන්නේ නෑ. හොඳටම මඩ වෙලා. අපි බස්නාහිර පළාතේ මායිමෙන් සබරගමුව දිස්ත්‍රික්කයටත් ගිහින් ආයෙත් බස්නාහිර පළාත පැත්තටම ආවා අත්වැල්තොට පාළම හොයාගෙන. අත්වැල්තොට කබරගොයි ඇල්ල ගැන දැනගෙන හිටියට හරියටම තැන හොයාගන්න අමාරු වුණා. ඒ පැත්තේ කීප දෙනෙක්ගෙන්ම ඇහුවට හරියටම කියන්න දන්නේ නෑ. හමෝම කියන්නෙ මේ හරියෙ දිය ඇලි කීපයක්ම තියෙනවා කියල විතරයි. අපි පාළම පහු කරන් ඇවිත් පොඩි දිය ඇල්ලක් හොයාගත්තා. ඒකට කියන්නේ පිලිතුඩු ඇල්ල කියලා. ඒත් ඒක අපි හොයපු එක නෙවෙයි. 

පිලිතුඩු ඇල්ල

කොහොම හරි අන්තිමේ කබරගොයි ඇල්ල හොයාගත්තා. ප්‍රධාන පාරෙන් උඩට යන්න පොඩි පාරක් තියෙනවා. ඒකේ උඩට ගියත් ඇල්ලක් හොයාගන්න බැරි වුණා. පස්සේ ඇල්ලේ සද්දෙ ඇහෙන පැත්තට ගිහින් තමයි අපි ඇල්ල හොයාගත්තේ. ඇල්ල ගාවට යන්න ටිකක් අමාරුයි. අමාරුවෙන් හොයාගත්ත නිසා ද මන්දා ඒ වෙලාවෙ එතන පුදුම ලස්සනක්. පස්සෙ අපි දැනගත්තා ඒ ඇල්ලටම අහස් බොකු ඇල්ල කියලත් කියනව කියලා.


කබරගොයි ඇල්ල




Charගෙ නැන්දලගෙ ගෙදර ගිහින් හවසට තේ බීලා බදුරලිය, අගලවත්ත, මතුගම හරහා ආයෙත් අපි එදා කොළඹ ආවා. ආ.. අපි හිතුවා අලුත් සාමාජිකයා හොඳයි කියලා. 

Sunday, January 24, 2021

ලෝකාභිමානයේ සංකේතය - ෂුක්රා මුනව්වර්


Covid නිසා වෙච්ච හොඳ අතරෙ මෙහෙම දේවලුත් තියෙනවා. කොහොමද Laptop  එකක් නැතුව Online ඉගෙන ගන්නේ කියන එක රෑ තිස්සෙ හිතල හිතලා ඒක කරගන්න අවස්ථාවක් හොයගත්තු විදිහ හරිම අපූරුයි. ෂුක්රා කියන්නෙ අවස්ථා අපි ගාවට එනකන් ඉන්නේ නැතුව අපිට අවස්ථා හොයාගෙන යන්න කියලා. මේ කතාවෙ හොඳම දේ තමයි, ඇය නිසා මේ රටේ එකක් නැතුව ඉගෙන ගන්න බැරුව ඉන්න ළමයිගෙ හඬ මේ රටේ මිනිස්සුන්ට ඇහුණ එක.

අදටත් අපේ රටේ ළමයින්ට අධ්‍යාපනය අවශ්‍ය පහසුකම් සලසන්න අපේ පාලකයින්ට කිසිම වැඩ පිළිවෙලක් නැහැ. අවුරුද්දක් ඇතුලත හැම ළමයෙක්ටම Computer එකක් දෙන්න target එකක්,  නිසි වැඩ පිළිවෙලක් නැහැ. හදන්න ඕනෙ ලොකුම මැණික් කුළුණ ඒකයි කියලා ගොඩක් අයට තේරුමක් නැහැ. ඒත් ෂුක්රා ඒකෙන් පැරදුනේ නැහැ. අන්තිමේ ෂුක්රා එයාට විතරක් නෙවෙයි තව ළමයි කිහිප දෙනෙක්ටම Laptop අරන් දෙන්න තරම් දක්ෂ වුණා. මේ රටේ තව දහස් ගණන් ෂුක්රා ලා ඇති. හැබැයි ෂුක්රා ඒ ප්‍රශ්නෙ වෙන කාගෙවත් පිට දාලා පරාජය භාර ගන්න කැමති වුණේ නෑ. ඒක තමයි විශේෂත්වය. 

ප්‍රශ්න එකින් එකට උත්තර හොයාගෙන ඉස්සරහට ගියපු විදිහ හිතාගන්නත් බැරි තරම්.  නොපසුබට උත්සාහය, ධෛර්යය, දැනුම මේ සියල්ල එකතු වෙද්දි වාසනාවත් එකතු වෙනවා. එයාව මෙතෙන්ට අරන් එන්න ඔයාගේ අම්මා, තාත්තා, ඉස්කෝලෙ ගුරුවරුත් ගොඩක් මහන්සි වෙන්න ඇති.  අන්තිමට ෂුක්රා කියපු දෙයක් තියෙනවා. "මට මෙතෙන්ට එන්න මාව උනන්දු කරපු වගේම මාව විවේචනය කරපු, හිනා වුණු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ අය නිසයි මම අද මෙතන ඉන්නේ". 

පුංචි උනත් අපි හැමෝටම ඔයාගෙන් ඉගෙන ගන්න පුළුවන් දේ අප්‍රමාණයි. අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකයෙත් ඔයාගෙ නම බැබලේවි දවසක. ඉතින් ෂුක්රා ලෝකාභිමානය ලොවට හඳුන්වලා දීපු ඔයාට සුභ අනාගතයක් පාර්ථනා කරනවා හදවතින්ම !












සිරස ලක්ෂපතියේ රුපියල් මිලියන දෙකේ ජයග්‍රාහිකාව - 2021-01-23

Wednesday, January 6, 2021

ජීවිතය


ප්‍රශ්නය  :     හිතින් හඩනවා යලි යලිත්, නොමදැක නිමාවක් ...
                    වෙහෙසයි දැනෙන්නෙ ජීවිතේ, ඉවසුවා දැන් මහ මෙරක්...
                    කඩාවැටෙනව හදවතින්, කුමක් වීදෝ අපිට මේ ලෙසින් ...
                    අනේ එපා මට තවත් දුක්,
                    හිතට නෑ මගෙ නිමාවක් ...


පිළිතුර    :   ඉපදීම සමඟ උරුමයි මේ දුක් ගිනි කන්ද
                    ඉවසීම නොව ගැලවීමයි කල යුත්ත 
                    කොපමණ දුක් වින්දත් මහ මෙර ලෙසට
                    ගැලවී නොගියහොත් උරුමයි ඔය දුක නැවත