Sunday, August 30, 2015

අමා දම් සර - 2012




කොහේදෝ තිව්‍න පිනක් පෑදිලා මට කරාපිටිය පිළිකා සරණ සංගමයෙන් සංවිධානය කරපු "අනුරපුර වන්දනා" වැඩසටහනට සහභාගී වෙන්න ලැබුණා. ඉතින් ඒ ගමනට අපේ ඉස්කෝලේ යන කාලේ හිටපු මං ගොඩක් ගෞරව කරපූ මිස් කෙනෙකුත් ඇවිත් හිටියා. මං කතා කරලා මාව අදුන්වලා දීලා එහෙම ඉතින් වන්දනාවේ වැඩ කරන් හිටියා. අපි රුවන්වැලි සෑය ගාව සිල් ගත්තා. හවස කප්රුක් පූජාවක් සංවිධානය කරලා තිව්නා. ඒකට ගොඩක් නෙලුම් මල් ගෙනත් තිව්නා. ඒ වෙලාවේ මට එක පාරටම හිතුනා අපේ යාළුවෝ ටිකත් එකතු කරගෙන අපේ ඉස්කෝලේ ඔක්කොම ගුරුවරු එකතු කරලා නෙලුම් මල් පූජාවක් කරන්න ඕනේ කියලා. මං දුවගෙන ගිහින් ඒ වෙලාවේම මගේ අදහස කිව්වේ අපේ ඉස්කෝලේ මිස්ට. මිසුත් ඒක කරන්න පුළුවන් වෙන්න කියලා ආශිර්වාද කරා.

අදහස නම් කොහෙන් ආවද මං දන්නේ නෑ. ඒත් ඒ අදහස මගේ යාළුවෝ ටිකට කිව්වම කව්රුත් බෑ කිව්වේ නම් නෑ. තවත් ටිකක් කල්පනා කරන කොට හිතුනා හාමුදුරු කෙනෙක් වඩම්මලා බණකුත් කියන්න ඕනේ කියල. අපේ ඉස්කෝලේ අපේ වයසේ ඔක්කොම වගේ ඒ දවස් වල කැම්පස් වල ඉගෙන ගන්නවා. ඉතින් කාටවත් වැඩිය වියදම් කරන්න පුළුවන් කමක් තිව්‍නෙ නෑ. ඉතින් සල්ලි ප්‍රශ්නෙට තමයි ගොඩක් බය උනේ. ඕනේ දෙයක් කියලා වැඩේ පටන් ගත්තා.

අපේ ඉස්කෝලේ වැඩ වලට කවදත් සම්බන්ධ වෙන බෝගහගොඩැල්ල පන්සලේ හාමුදුරුවොත් එක්ක ගිහින් කතා කරාම හාමුදුරුවොත් උදව් කරන්න කැමති උනා. අපේ කල්පි දහම් පාසල් ගිහින් තිබුනේ ඒ පන්සලට නිසා හාමුදුරුවොත් හොඳට අදුරනව. ඉතින් අපි දොඩම්පහල ශ්‍රී රාහුල හාමුදුරුවන්ට බණට ආරාධනා කරා. බැනර්, පෝස්ටර්, අන්දලා ඔක්කොම ලේස්ති කරා. අපිට එක බැනර් එකක් ඇදලා දුන්නේ අපේ ඉස්කෝලෙම කලින් හිටපු සර් කෙනෙක්.








අපි 2008 කණ්ඩායමට නමක් දාගත්තා “සියාර” කියලා. ඒකේ තේරුම “සිය ආර” කියන එක. මහන්සි වෙලා logo එකකුත් හැදුවා. ඒත් සමහර අය කියන්න පටන් ගත්තා ඇයි මේ තව නමක් කියල. අපි ඉතින් ඒ නම පාවිච්චි කරන එක නැවැත්තුවා. ඒ අයටත් තෙරුන් කරලා දුන්නා.
ඇත්තටම කිව්වොත් පෝස්ටර් ගහන්නවත් කව්රුත් හොයාගන්න හිටියෙ නෑ. අපේ ගයන්ති තාත්තත් එක්ක ගිහින් තමයි ඒ වැඩේ කරේ. බැනර් ටික ගහන්න නම් Richmond එකේ අපේ යාළුවෝ දෙතුන් දෙනෙක් උදව් උනා. අපි ගොඩක් අය දවසක් කතා කරගෙන ඉස්කෝලෙට ගිහින් මිස් ලට අරාධානා කරා. කලින් හිටපු මිස්ලට ලියුම් යවල හරි ගෙදරට හරි ගිහින් කිව්වා.

මේ අතරේ අපි එදාට මිස්ලට දෙන්න කියලා CD වගයක් සහ කවි පන්තියක් ලේස්ති කරා. අකිලා CD වැඩේ කරන අතරේ යහනි අතින් ලස්සන කවි ටිකක් ලිය උනා. 2012 ජූලි 28 තමයි අපි යොදා ගත්තු දවස. ඊට කලින් දවසේ අපි පන්සල් වත්ත සුද්ද කරලා, කොඩි දාලා සරසන වැඩ ටික කරා. අපිට ලයිට් වැල් ඇද ගන්න එක තමයි ඊළග ප්‍රශ්නෙ උනේ. මදුෂාගේ යාළුවෝ දෙන්නෙක් කොහේද වෙන ගමනක් යන ගමන් ඇවිත් ඒකට අපිට උදව් කරා. මල්ෂා, මධූ , ඉසංකා, තමාලි, චාරුණිලා ඇවිත් පහන් එහෙම සුද්ද කරලා දුන්නා. පියුම්නිගේ තාත්තා එවපු මාමා කෙනෙක් කොඩි ටික දාන්න උදව් උනා. හාමුදුරුවෝ ගම වටේ announce කරගෙන ගියා නෙළුම් මල් පූජාව ගැන. අපේ කට්ටිය ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. එදා අපි ගෙදර යද්දී හොදටම හවස් වෙලා.

එදාට මල් ටික හොයාගන්න එක තමයි ඊට පස්සේ තිව්‍න ප්‍රශ්නෙ. ඒකට උදව් කරේ අපේ කැම්පස් එකේ ඩිලාන් මල්ලි. එයා කැලණියෙන් මල් ටික අරගෙන ත්‍රී වීල් එකක දාගෙන කොටුව ස්ටේෂන් එකට ගෙනත් දුන්නා. එයාගේ තාත්තාගෙන් මල් ටිකක් වැඩිපුරත් ලැබුණා. හොඳ වෙලාවට අපේ උපේක්ෂාගේ තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙක්. Uncle ගොඩක් උදව් කරා train එකට මල් ටික දාගන්නත් ආයේ ගාල්ලෙන් ගන්න වැඩ ටිකට. කල්පියි තව එයාලගේ කැම්පස් එකේ යාළුවෙකුයි ගාල්ලට අරන් ආවා මල් ටික train එකේ දාගෙන.

එදා උදේ කට්ටිය ඔක්කොම පන්සලට එකතු වෙලා මල් හැදුවා. කොච්ච්ර දුර උනත් අපේ කැම්පස් එකේ තමාලි යි තාරයි චාරකයි උදේම ආවා. චාරක ඉතුරු බල්බ් වැල් ටික දාලා දුන්නා. දුර ඉදන් ඇවිත් තිබුනත් මට එයාල ගැන හොයන්නවත් වෙලාවක් තිබුනේ නෑ.
















අපේ කලින් උගන්නපු විශ්‍රාම ගියපු මිස්ලායි දැන් ඉස්කෝලේ ඉන්න මිස්ලයි ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා. ඒ වගේම ගමේ දායාක පිරිස්, දහම් පාසලේ ළමයි ගොඩක් අය බණ අහන්න ඇවිත් හිටියා.








ඉතින් හවස දොඩම්පහල හාමුදුරුවෝ වැඩලා බණ වලින් පස්සේ තිවනේ අට විසි බුද්ධ පුජාව. ඒකට ලේස්ති වෙන අතරේ යහනිගේ කවි ටික ගායානා කරේ නිදුකයි භාග්‍යයයි දෙන්නා. මිස්ලගේ අතට පිරිත් CD එකත් එක්කම කවි ටිකත් කොලයක print කරලා දුන්නා.

කිරි කැටි සොඳුරු සිතුවිලි පුරවා මනසේ
ලොව සුපිපෙන්න වෙර දරනා හැඩ මල් සේ
සඟමිත් බිමට පෑ තැබූ ඒ මුල් දවසේ
මතකයි ඔබේ මුහුණ හා සෙනෙහස එකසේ
මගේ අතින් අල්ලා හැඩ අකුරු රවුම්
ලියූ හැටි තාම මතකයි හද මවා සිතුම්
තවමත් සිතේ ඇත ඔබ ඒ ඇඳි සිත්තම්
අම්මා ලියන්නත් බෑ මට ඔබ නැත්නම්
ඔබගේ අදර දූවරු සිය දහස් දෙනා
මේ ලොව සිටියි ඔබ හින්දම දිවිය දිනා
එපිනෙන් සියලු සැප ලැබ දුක් නොලැබ සදා
දිගු කල් වැජබෙන්න ගුරු දෙවි වරුනි සදා
පබැඳුම : යහනි පංකජා

මේ වගේ කවි 50 ක් විත‍ර යහනි ලියලා තිව්නා. ආපු අනිත් යට කරණීය මෙත්ත සූත්‍රයේ සිංහල තේරුම කොලයක print කරලා දුන්නා. ඊට පස්සේ මල්, පහන්, අතින් අත යවලා අට විසි බුද්ධ පුජාව කරලා ටිකක් රෑ වෙද්දී පහන් පත්තු කරා.
















අපේ නෙළුම් මල් පුජාවේ ඡායාරූප ටික ගත්තේ Richmond රළ කණ්ඩායමේ සහෝදරයෙක්. ඉතින් මේ විදිහට පුදුම කට්ටක් කාලා අපේ යාළුවො ටික එකතු වෙලා ගොඩක් දෙනෙක්ගේ සහයෝගය ඇතුව “අමා දම් සර” වැඩසටහන සාර්ථකව අවසන් කරන්න පුළුවන් උනා. ඉතින් හැම දෙනාටම පුදුම සතුටක් හිත වලට.




මෙතන කියන්න බැරි උන තව හුගක් දෙනෙක් අපිට නොයෙක් වැඩ වලට උදව් උනා. එදාට එන්න බැරි උනත් අපේ ගොඩක් යාළුවො මොනම දේකින් හරි සහභාගී උනා. ඉතින් අපේ වැඩසටහනට වචනෙකින් හරි උදව් කරපු හැමදෙනාටම අපි කරගත් සියලු පිං අනුමෝදන් වේවා ! අපේ 2008 කණ්ඩායමට තව තවත් මේ වගේ වැඩ කරන්න ලැබේවා කියලා මම පාර්ථනා කරනවා.

(මතක විදිහටයි ලිව්වේ. වැරදීමක්, අඩු පාඩුවක් වෙලා තියෙනවා නම් සමාවෙන්න)




Sunday, August 23, 2015

සත්තු වත්තේ දවසක්

අවුරුදු 20 කට පස්සේ දෙහිවල සත්තු වත්ත බලන්න ගියා. පුංචි ළමයින් තමයි ගොඩක් ඇවිත් හිටියෙ. එක අතකට හිතෙනවා කම්බි වලින් කොටු කරලා සිමෙන්ති පොලවේ ඉන්න සත්තු පෙන්නලා ළමයින්ව සතුටු කරන්න පුළුවන් ද කියලත්. හැම සතෙක්ම මහා දුකකින් ඉන්නවා වගෙයි මට පෙනුනේ නම්. පුංචි ළමයින්ට නම් දහසක් ප්‍රශ්ණ. අම්මලට උත්තරත් නෑ සමහර ඒවට.
















දවල්ට නිදා ගන්නවා කිව්වාට මෙයා නම් ඇහැරිලයි හිටියෙ








මං දැකපු ලස්සනම දෙන්නා..

























අතරින් පතරේ ලස්සන මල් දෙකකුත් දැක්කා.








සිමෙන්ති ගුහා























මේ ඉබ්බෝ ටික අව්ව තපින්නේ කොහේ ඉදන්ද බලන්නකෝ
















කියාගන්න බැරි නිසා ලොකු දුකක් හිතේ දරාගෙන ඉන්නවා වගේ මෙයාගේ ඇස් දෙක නම්.





මෙයා කල්පනා කරේ මොනවද නම් මම දන්නේ නෑ. ඒත් හිටියෙ නම් බොහොම ලොකු කල්පනාවක. සමහර විට මෙයාලව බලන්න එන මිනිස්සු ගැන කල්පනා කරනවා ඇති. මේ සත්තු කොහෙන් ආවද කියලා