Thursday, March 19, 2020

සොභාදහමෙ කනේ පා​ර - Corona

ජාතියෙන් ආගමෙන් හමේ පාටෙන් බේද බින්න වෙලා, මහ පොළොව බෙදා ගන්න බැරුව, කොටින්ම එදා වේල හම්බ කරන් කාල ඉන්නෙ නැතුව, අපි බොහෝම දියුණුයි කියලා උදම් අනල තමන්ගෙ රට මදි වෙලා අනෙත් රටවලුත් අල්ලන්න ගියපු මිනිස්සුන්ට සොභාදහම ඉගැන්නුවා උඹලා තාම බොහොම පුංචි අංශුවක් වත් පරද්දගන්න බැරි මේ සොභාදහමෙම පුංචි කොටසක් කියලා.කාලයක් තිස්සෙ සොභාදහම බලාගෙන හිටියා, මේ ලෝකෙ අපේ, අපේ ආගමේ, මේ ලෝකෙ ඉන්න ඕනෙ අපේ අය විතරයි කියලා. දැන් තමයි මේ මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ මිනිස්සු හැමෝම එකයි කියලා. ඒකත් සති දෙකකින් අමතක වෙයි ද දන්නෙ නෑ. මිසයිල ගහ ගෙන, බෝම්බ පත්තු කරගෙන, මිනිස්සුන්ට ලෝකෙට පරිසරයට හානි කරගෙන දුවපු දිවිල්ල. මගේ අම්මේ ! තව පොඩ්ඩෙන් ලෝක යුද්ධෙකුත් එනවා.


 

සොභාදහමෙම කොටසක් වෙච්ච සතා සර්පයා මරාගෙන, සතා සර්පයා විතරක් නෙවෙයි මිනිස්සුන්වත් මරාගෙන, සත්තුන්ටත් උන් හිටි තැන් නැති  කරලා ලෝකෙ අල්ලන්න ගියා මැදැයි. අන්තිමට ඇති මනුස්සයයි, නැති මනුස්සයයි දෙන්නම එකම බෝට්ටුවට වැටුණා.




මිනිස්සු දුවපු දිවිල්ල නවත්තන්න ඕනෙ වුණේ ඇහැට පේන්නෙවත් නැති බොහොම පුංචි අංශුවක් විතරයි. ඒ දුවපු දිවිල්ල නතර කරලා හති ඇරලා බැලුවාම තමයි පරිසරයේ ලස්සන පේන්නෙ. වෙනදා දූවිල්ලෙන් වැහිලා තිබ්බ අහස නිල් පාට වෙලා, වෙනදාට පේන්නෙ නැති මල් පිපිලා, වතුර නිල් පාට වෙලා, මිනිස්සුන්ට බයේ හැංගිලා හිටපු සත්තු එළියට ඇවිල්ලා නිදහසේ කෑම හොයන් යනවා. එතකොට මේ මිනිස්සු මෙච්චර දවසක් දුවලා තියෙන්නෙ මොනවා පස්සෙන්ද?




ලෙඩට බයේ ගෙදර ඉන්නකොට තමයි එහා ගෙදර එකාව අඳුර ගන්න පුළුවන් වුණේ. මෙච්චර දවසක් මූණ බලලා කතා කරන්න බැරි වුණ එකා එක්ක සිංදුවක් කියලා දුක බෙදා ගන්න පුළුවන් වුණා.  වෙනදා එළියෙන් හොයන සතුට මෙදා ගෙදර ඇතුලෙන්ම හොයන්න ගත්තා. වෙනදා ගොඩක් දුර තිබ්බ සතුට අද ගේ ඇතුලෙම. මෙච්චර දවසක් මව් රට එපා වෙලා බැන බැන හිටපු අයට මව් බිම මතක් වුණා. රට යන්න පොරකාපු අයට මව් රටට එන්න පොරකන්න වුණා.




ඒ අස්සේ හැංගිලා යට ගිහිල්ලා තිබ්බ මනුස්සකම කියන දේ එළියට ඇවිල්ලා. වෙනදා සල්ලි වලට වැඩ කරන වෛද්‍යවරු හෙද හෙදියො මෙදා මහන්සි වුණේ එක ජීවිතයක් හරි බේර ගන්න. දවස් ගාණක් එක දිගට රෑ නිදි නැතුව තමන්ගෙ කොණ්ඩෙ පවා කපලා දාලා මිනිස්සු වෙනුවෙන් පුදුමාකාර කැප කිරීමක් කරපු මිනිස්සු හිටියා. ප්‍රතිකාර කරන්න රෝහල් හැදුණෙ විදුලි වේගෙකින්.




එදා වේල හම්බ කරන් කන අපේම අය වෙනුවෙන් කීය කීය හරි එකතු කරලා තවත් කෙනෙක්ගෙ කුසගින්න නිවපු අය හිටියා. ඉතින් මේ ලෝකෙ තිබ්බ නරක යටපත් කරලා හොඳ ඉස්මතු කරන්න මේ පුංචිම පුංචි අංශුවට පුළුවන් වුණා.




තාමත් ඉතින් මේ පාඩම ඉවර කරගන්න බැරි වුණා. හැමෝම එකතු වුණොත් ඉක්මණින්ම ඉවර කරගන්න පුළුවන් වෙයි. නැත්නම් ලෝකෙ තිබ්බටත් වඩා නරක තැනක් වෙයි. අපේ රටෙත් මේ අංශුව පරද්දන්න ගන්න මහන්සිය සාර්ථක වෙන්න හැමෝම එකතු වෙන්න වෙනවා. මේ දුවන දිවිල්ල පොඩ්ඩක් නතර කරලා නැවතිලා බලන්න. හැමෝම තමන්ගෙ වගකීම ඉටු කලොත් ඉක්මන්ට මේ කරදරයෙන් ගොඩ එන්න පුලුවන් වෙයි..


(Photos ටික ගත්තේ FB එ​කේ එහෙන් මෙහෙන්..)