Sunday, December 12, 2021

ආදරණීය කල්පි

ආදරණීය කල්පි,


ලියන්නට දහසක් දේ තිබුණත්, ඒ සියල්ල අකුරු කරන්නට තරම් මා හට වචන නැත. සිතට එන සිතුවිලි සියල්ල අකුරු කරන්නට ගියහොත් පොත් සිය ගණනක් ලියන්නට සිතුවිලි ඇත.


කෙටියෙන් කිවහොත් ඔබ මට කලණ මිතුරෙකි. ජීවිතය කඩා වැටුණ තැන, බැන බැන යලිත් නැගිටින්නට ශක්තිය දුන් ගුරුවරයෙකි. කැමති කෑමක් තිබුණොත් ගෙදරට එන්න කියලා හදලා 'ආ.. කාපන්' කියපු අම්මා කෙනෙකි. ඉස්කෝලේ පන්තියේ කාලය ගෙවා ගන්නට කම්මැලි නැතිව ඉගෙන ගන්නට උදව් කරපු සිනා සයුරකි. පන්ති වල සර්ලගේ දඩුවම් වලින් බේරෙන්න උදව් කල දයාබර යෙහෙළියකි.


ගුරුවරුන්ට ගෞරව කරපු අපූරු සිසුවියකි. Weddings වලට යන්න නාහෙන් අඩද්දි, තමන්ගෙ අල්මාරියෙන් සාරි 10 ක් විතර තෝරලා, අන්දවලා, jacket හදලා හරි දැන් ඕක ඇදන් වරෙන් කියපු නිරූපණ ශිල්පියෙකි. ඉස්කෝලෙ science day එකේ ඉදන්, නෙලුම් මල් පූජාව, රණවිරු අභිනන්දන ඉදන් අන්තිමට කරපු get together එක වෙනකන්ම කරපු හැම වැඩේටම මහන්සි වුණු මගේ දකුණු අතය.
ඉතුරු වෙලා තිබ්බ ජීවිතේ හැම ශක්තියක්ම තමන්ගෙ දරුවා වෙනුවෙන් කැප කරපු දිරිය මවකි. අම්මා තාත්තා අක්කා අයියා වෙනුවෙන් වේදනාවනක්ම ඉවසපු දයාබර දියණියකි, සහෝදරියකි. සැමියා වෙනුවෙන් කැපවූ දයාබර බිරියකි. සසරෙන් මිදීමට උනන්දු වූ, අප්‍රමාණ පින් රැස් කල ආර්ය උපාසිකාවකි. වේදනාවේ අත්දැකීම් අකුරු කල ලේඛිකාවකි..


හැමදාම වගේ, තිබ්බ හැම වේදනාවම අමතක කරලා අන්තිම දවසෙත් ඇහුවෙ, "රුක්ෂි ගෙදර යන්නෙ කොහොමද ?". එච්චරට අනුන් ගැන හිතන්න තරම් පරාර්ථකාමී වුණේ කොහොමද කියලා මට හිතාගන්න අමාරුයි. තිබ්බ හැම ධර්ම ගැටළුවක්ම විසදගෙන අවසාන මොහොතටත් පුදුමාකාර සිහියකින්, දිරියකින් මුහුණ දුන්නා.


අම්මලා දැකල තිබ්බත් මේ තරම් වේදනාවන් ඉවසපු අම්ම කෙනෙක් මම දැක්ක පළවෙනි වතාව. වෙනදා තත්පරයකට කට නවත්තන්නෙ නැති ඔයා අද පොඩ්ඩක්වත් සද්ද නැතුව හිටියෙ කොහොමද? ඒ හිනා ඉනා ආයෙ කනට ඇහෙන එකක් නෑ. හැබැයි එකම එක දෙයක් විශ්වාසයි. ඒ සද්දෙ හැමදාම අපෙ හදවත් ඇතුලෙන් ඇහෙයි. අපිට ඉතුරු කරලා ගියපු මුණික් කැටේ කාලෙත් එක්ක ඔප වැටෙයි. ඒක ඔප දාන්න, එක අම්මා වෙනුවට අම්මල කීප දෙනෙක්ම ඉදීවි.


ඔයාගෙ අතින් මටම ලියවුණු මේ කවිය මට අමතක කරන්නම බැරි එකක්..

හිතේ ගින්දර දහක් තිබුනත් ගෙවා දමනා දවස් ගානෙ,
උඹම ඇවිදින් එක දවසකින් ගිනි අමතකව සතුට ආවේ,
මා පමණ නොව මගෙ මව් ද පුතු පැටිය කලෙකින් සතුටු වූවේ,
ලෙඩකු වන්නට වුවත් මට නිති කළණ මිතුරන් නොඅඩු වූවේ ...

ගතේ රිදුමයි හිතේ වෙහෙසයි නිසා මා හෙම්බත්ව උන්නා,
මං නැතිව මගෙ පුතුත් නිති පාලුවෙන් කල් ගෙවන් උන්නා ,
පාලු කතරට වරුසාව වී අහම්බෙන් නුඹ ඇවිත් උන්නා,
කාලෙකින් ලෙඩ අමතකව අප සිනහවී යලි කාලෙ ගෙවුනා...

මටත් සතුටුයි මේ දවස ගැන මේ මොහොතෙ මට නුඹෙන් ලැබුනූ,
ඊට සතුටුයි අම්ම සහ පුතු වින්ද සහනය ඊයෙ ලබපූ,
පතමි නිති පිං කුමක් දෙන්නද ලෙඩෙකු වූ මා කිසිත් නැතිවූ,
දුර නොවේවා සසර කෙලවර නිවන උඹ හට කළණ මිතුරූ...


ඉතින්, අපි සසරෙ කොච්චර කාලයක් ළගින් හිටියද දන්නෙ නෑ. ඒත් ආයෙ, හමු වෙන්න පතන්නෙ නෑ. සසර කෙළවර කරන්න පටන් ගත්තු ගමන ඉවර කරන්න වීර්යය වැඩේවා. ඉතාම ඉක්මනින්ම සසර දුකෙන් එතර වෙන්න ලැබේවා!


සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී..
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී..
අම්මා යන සමාධියට ඉඳිමි සමවැදී..
ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි...

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ..
සක්විති රජ වරුනගෙ දණ ඔබ ලග නැම්මේ..
සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ..!

ආදරණීය කල්පි.. ඔබට නිවන් සුව.. !!