Friday, February 7, 2020

නිදහස් අධ්‍යාපනයේ මලගම

නිදහස් අධ්‍යාපනය වල පල්ලට ගෙනියන්නේ උපාධි කඩ හිමි කරුවන් නොව, රට වැසියකුගේ තේකකින් පවා ගසන බදු වලින් උපාධි ගෙන ගෙදරට වී වැඩක් පලක් නැතුව කා බී සිටින රැකියා අපේක්ෂිත උපාධි හිමිකරුවන් සහ පාරවල් ගානේ ඉල්ලීම් ඉල්ලමින් කෑගසන උද්ඝෝශන කරන රජයේ විශ්වවිද්‍යාල වල උපාධි අපේක්ෂකයන්ය. තව කලක් යන විට නිදහස් අධ්‍යාපනය පසෙකලා මුදල් ගෙවමින් උපාධි හදාරන්නට වැඩි ඉල්ලුමක් ඇති කරන්නට උන් දැනුවත්ව හෝ නොදැනුවත්වම දායක වන්නේය. ඔබ දැනට වීරයෙකි. ව්ප්ලවවාදී අදහස් දරන්නෙකි. එහෙත් තව අවුරුදු 10කින් ව්ශ්ව විද්‍යාලයට එන්නට සිටින දරුවන්ගේ හතුරෙකි.

රජයේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයිනි, ඔබලාට මුදල් අඟහිගකම් ඇත්නම්, රජයෙන් ලැබෙන අධාර මදි නම් දවසට පැය දෙකක් රැකියාවක් කරන්න. එලෙස අමාරුවෙන් කට්ට කා ගොඩ වූවන් අද සැප විදින්නේය. සියළු විය හියදම් රජයෙන් ලැබෙන තුරු කට බලියාන බලා සිටීමෙන් ඔබේත් රටේත් කාලය හා ශ්‍රමය අපතේ යන්නේය. පෞද්ගලික විශ්ව විද්‍යාලයට යන ඔබේම වයසේ පසු වන්නන් අමතර රැකියා කරමින් ඉගෙන ගන්නා අතර රැකියාවකට අවශ්‍යම අත්දැකීම් ද ලබන්නේය.

ඉල්ලීම් දිනා ගැනීමට සටන් වැද, වැඩ වර්ජන වලට මුහුණ දී, ඔබ වසර ගණනාවක් පමා වී උපාධිය අතට ගන්නා විට, පෞද්ගලික ආයතන වල උපාධිය හැදෑරූ ඔබේ මිතුරා වසර ගණනාවක පලපුරුද්ද ලබා උසස් රැකියාවකට ද හිමිකම් කියන්නේය.

උපාධි හිමිකරුවනි, ඔබට උපාධියක් ලබාගැනීමට අවශ්‍ය සියළු දේ රට වැසියාගෙන් ලබාගෙන අවසානයේ රැකියාවක් ද දියව් කියන්නේ නම් ඔබගේ උපාධියෙන් ඇති ඵලය කුමක්ද? ඔබෙන් රටට ලැබෙන්නේ කුමක්ද? ඔබගේ උපාධියේ ගුණත්වය මනින්නේ ඔබගේ සාර්ථක බවින්ය.
කලක් ගතවන විට රජයේ උපාධිදාරීන් නිකමුන් බවට රට වැසියාම විසින් හන්වඩු ගසන දිනය වැඩි ඈතක නැත. එයින් ඔබ නැති කරන්නේ හද්ද පිටිසර ගමක සිටින දක්ෂයන් ගේ හෙට දවසයි. ලංකාවේ අනාගතයයි.