Friday, February 12, 2021

පන්කුලියේ සමාධි බුද්ධ ප්‍රතිමාව (අශෝකාරාමය) - අනුරාධපුරය

අනුරාධපුරයේ අශෝකාරාමය පිහිටලා තියෙන්නේ අභයගිරිය විහාරයේ ඉඳන් 3.5km ක වගේ දුරින්. පන්කුලිය කියන ගමේ තමයි පිහිටලා තියෙන්නේ. අශෝකාරාමයේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාව ගැන අහල තිබුණට එතනට මම කවදාවත් ගිහින් තිබුණේ නෑ. කලින් වතාවක යන්න හිටියත් එතන මග ඇරුණා. මේ වතාවෙ කොහොම හරි යනවා කියලා හිතාගත්තා. කොහොම හරි Google map එක දාගෙන පණ්ඩිතයා වගේ යන්න පිටත් වුණා. 

     අභයගිරි විහාරයේ සිට පාර 


අභයගිරිය පැත්තේ ඉඳන් එනකොට ප්‍රධාන පාරෙන් දකුණට හැරිල ටිකක් අබලන් වෙච්ච පාරක යන්න තියෙන්නේ. ටිකක් කිව්වට සමහර තැන් වල ගොඩක් අබලන්. ඉස්සරහට යන්න යන්න පාර පොඩි වෙනවා. ලොකු වලවල් එහෙම අඩු නැතුව තිබුණා. ඔහොම යද්දි වෙල් යායක් මැද්දෙන් ගුරු පාරකට වැටෙනවා. මනුස්සයෙක් ගෙයක් දොරක් පේනතෙක් මානෙක නෑ. ඒ පැත්තෙ මිනිස්සු පදිංචි වෙලා නැහැ. ඈතින් හේන් වල උස ගස්වල තියෙන පැල් නම් පෙනුණා. එතකොටම අපි දැක්කා පාර මැද්දේ පිල් විහිදගෙන නටන මොණරෙක්. අපි ඉස්සරහට එද්දි එයා හෙමීට කුඹුරට බැහැලා ගියා. 





ඊට පස්සේ අපි ගියපු පාර වැටුණේ කැලයක් මැද්දට. ටිකක් අලි ඉන්නවා වගේ කියල හිතෙන අඳුරු පාරක්. අහන්න කියල මනුස්සයෙක් ළග පාතකවත් නැහැ. අපි ඒ උනත් Google map එක විශ්වාස කරගෙන ඉස්සරහටම ගියා. පොඩි දුරක් ගියාම ඒ කැලෑ පාර ඉවර වෙලා පාර දෙකට බෙදුණා. ඉස්සරහ පාර ගැන දන්නේ නැති නිසා වාහනෙන් බැහැලා පයින් ඉස්සරහට ගියා. එතකොට අපිට තේරුණා ඒ හරියෙ පාර කලින් පහු කරපු හරියට වඩානම් හොඳයි කියලා.




වෙල් යායෙන් එහා පැත්තෙ තව මොණරෙක්.




ඉස්සරහට යද්දි එක පැත්තකින් වෙල් යායකුත් අනිත් පැත්තෙන් පොඩි කැලයකුත් තිබුණා. ඒ පාරේ කොනටම වාහනේ එන්න පුළුවන්. හරවන්නත් ඉඩ තියෙනවා. 




ලස්සන වෙල් යායක් මැද්දෙන් වැටිලා තියෙන පාරක කොනේම අපිට පෙනුණා ගල් කණු තියෙන තැනක්. Google map එකට පින් සිද්ධ වෙන්න අපි අශෝකාරාමය හොයාගෙන ආපු පාර හරි. වෙල් යාය මැද්දෙන් පයින් තමයි අශෝකාරාමයට යන්න තියෙන්නෙ. 




මේ දවස් වල කවුරුවත් එන්නේ නැති නිසාද මන්දා හොඳටම වල් බිහි වෙලා. මනුස්ස වාසෙන් තොර වෙච්ච නිසාද මන්දා ආරාම භූමියෙත් මොණරු ගොඩක් හිටියා. 



අශෝකාරාමයේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාව අභය මුද්‍රාවත් ආහ්වන මුද්‍රාවත් පෙන්නුම් කෙරෙනවා.

පන්කුලියේ සමාධි බුද්ධ ප්‍රතිමාව 



මහමෙව්නාවෙ වගේම ඒ වටේම ආරාම සංකීර්ණයක් තිබුණු බව කියන්න පුළුවන් නටඹුන්, ගල් කණු තියෙනවා. මුරගල් කොරවක් ගල්, සඳකඩපහන ඒ හැමදේම ඒ අවට දකින්න පුළුවන්. චෛත්‍යක පාදමත් ඉතුරු වෙලා තියෙනවා. චෛත්‍යයේ වාහල්කඩ සවි කරල තිබුණා කියල හිතන්න පුළුවන් කණු වල පාදම ඉතුරු වෙලා තියෙනවා. ඒ කැටයම් නම් හරිම ලස්සනයි. ඒ වගේම සියුම්. 












අශෝකාරාමය වැඩිය ප්‍රසිද්ධ වෙලා නැත්තෙ ඇයි කියල නම් තේරෙන්නෙ නෑ. ඒත් ගොඩක් අය මේ පැත්තට එන්නෙ නෑ. සමහර විට මහාවංශයේ වැඩි බරක් දාපු නැති නිසා වෙන්න පුලුවන්. ඒත් එතන තියෙන ගල් කණු වලින් නම් පේනවා ටිකක් ලොකු ආරාමයක් හෝ පන්සලක් තිබුණු බවට. මහා දාගැබ් නොවුනත් මේ සමාධි පිළිමය නම් විශිෂ්ට නිර්මාණයක්.

අපි එතනින් පිට වෙනකන්ම එතන හිටපු මොණරෙක් අපි දිහා ඇහැ ගහගෙනම හිටියා. පරණ මුරකාරයෙක් ද දන්නෙ නෑ.