Sunday, June 20, 2021

දිය ඇලි දඩයම 3

කලින් බණ්ඩාරවෙල ගිහින් බලන්න බැරි වුණ දිය ඇලි ටික බලන්න ආයෙ බදුල්ල පැත්තෙන් යන්න හිතුවා. ෂයිනිලාගේ ගෙදර නවතින්න පුළුවන් නිසා තව එක්කෙනෙක් එක්ක හරි යන්න ඉද්දි, තාරාලට එන්න බැරි වුණ නිසා තනියම හරි යනවා කියල හිතුවෙ. අපායට වුණත් තනියම යන්න දෙන්නෙ නැති තමාලි තව යාළුවෙක් එක්ක ආවා. පියුමි අක්ක නැති අඩු පාඩුව මකන්න එයාගෙ නංගි ආවා. අපි එද්දි අස් පස් කරල තියන්න ඕනෙ කියලා ෂයිනි කලින් සතියෙ ගෙදර ගියා එපාම කියද්දි. නුගේගොඩින් පියුමි අක්කගෙ නංගිව දාගෙන, කොල්ලුපිටියට ගිහින් තමාලිවයි යාළුවයි දාගෙන දවල් 12 ට විතර පටන් ගත්තු ගමන ඉවර වුණේ රෑ 8ට විතර ෂයිනිලාගේ ගෙදරින්. දවස 2020.07.11.



කියන්න සන්තෝසයි, එක දිගටම රථයේ එකම විදිහට කටයුතු කරේ මම. 320 km  විතර. එකේ ගොඩක් දුර යන්න පුළුවන් නිසා අපි ගියේ මත්තල පැත්තෙන්. යන ගමන් රාවණා ඇල්ල බැලුවා විතරයි.  ෂයිනිගෙ ගෙදරට එන පාර කීමෙ හොඳකම කියන්නෙ , අපි තනියම ගෙදර හොයන් එනකන් එයා පාර කිව්වා. රෑට කන්න තිබ්බ කෑම මතක් වෙද්දි තාම කටට කෙල උනනවා. 

බත් කාලා ඉවර වෙලා කන්න පුඩිමකුත් තිබ්බා ශයිනිගෙ ලොකු අක්ක හදලා. අප්පේ.. බත් කාලා හුස්ම ගන්න බැරුව හිටපු අපිට එක කටයි කනවා මතක. ඉතුරු ටික කොහොම බඩට ගියාද මතක නෑ. 

ෂයිනිගෙ අක්කා Plan එක හදලා තිබ්බෙ උදේ 5 ට කෝච්චියෙන් බණ්ඩාරවෙලට ගිහින් එතනින් Van  එකක් අරන් ඒ පැත්තේ ඇවිදින්න. අපි ඉතින් ඉක්මන්ට නිදාගන්න ගියා. උදේම නැගිටලා ලෑස්තිවෙලා කෝච්චිය අල්ලන්න දිව්වා. ගමනට ෂයිනිගෙ අක්කා  doll ගෙ ආදරණීය හබියා තමයි නඩේ ගුරා වුණේ.  ෂයිනි ගෙ යාළුවෙක් එන්න ඉඳලා කෝච්චිය අල්ලගන්න බැරි වුණා පිටත් වෙද්දි. පස්සේ වෙන එකකින් අපි ඉන්න කෝච්චියට නැග්ගා. කොහොම හරි අපි ඔක්කොම 8 දෙනෙක්.


කෝච්චියෙ ගමන වෙනම ආතල් එකක්. 









කෝච්චියෙන් බැහැලා වෑන් එකකින් ලිප්ටන් සීට් යන්න පිටත් වුණා. උඩට යද්දි උදේ 7.30 වගේ වෙන්න ඇති. පොඩි පාරක් නිසා උඩට යද්දි කීප සැරයක්ම පස්සට ගන්න වුණා වෑන් එක. උඩටම ගියාම හරිම ලස්සනයි. 





අපි එතනින් උණු උණු පරාටා කාලා හකුරුත් එක්ක තේ බිව්වා. 



ඊට පස්සේ අපි ගියේ බඹරකන්ද ඇල්ල බලන්න. මම කලින් ගිහින් තිබුණත් මෙතන හිටපු අනිත් අය ගිහින් නැති නිසා අපි හිතුවා යන් කියලා. බඹරකන්ද ඇල්ල බලලා ලංකා ඇල්ල බලන්නත් ගියා අමාරුවෙන් අමාරුවෙන් නැගගෙන. කලින් පාර තරම් රාවණා ඇල්ලෙ වතුර තිබුණේ නෑ. මං මෙයාලව ලංකා ඇල්ලට එක්කන් ගියේ පොඩ්ඩක් බයෙන් බයෙන්. එච්චර දුරක් කට්ට කාගෙන ගිහින් මේ මොකද්ද මේ කියල ඇහුවොත් කියලා. ඒත් හැමෝම එතෙන්ට කැමති වුණා. හරියට අපි පළවෙනි දවසෙ ගිහින් සතුටු වුණා වගේ.











ඊළගට අපි ගියේ උඩ දියළුම බලන්න. එතෙන්ට යන්න කලින් ෂයිනිගෙ අම්මා උයලා දීපු බත් දවල්ට කන්න ගත්තා. ඇන්ටි ලොකුම ලොකු බත් බැඳලා තිබ්බෙ. කන්න ගද්දි අපි හිතුවෙ ලොකු වැඩියි කන්න බැරි වෙයි කියල. උයල තිබෙබෙ පොල් සම්බලුයි, බැදපු හාල්මැස්සොයි, පොලොසුයි. දැනුත් කටට කෙල උනනවා ඒ රස මතක් වෙද්දි. කට්ටියම බත් ලොකු වැඩියි කියල පටන් ගත්තට, හැමෝගෙම බත් පාර්සල් ඉවර වෙලා අන්තිමට බලද්දි. 

උඩ දියළුම යන්න ඕනෙකම තිබ්බට කොච්චර අමාරුද කියලා දැනගෙන හිටියෙ නෑ. කවුරුවත් කලින් ගිහින් තිබ්බෙ නෑ. කොහොම හරි අපි කාල බීලා ඉවර වෙලා කන්ද නගින්න පටන් ගත්තා. පළවෙනි ටික නගිද්දිම හති හොඳටම. අපි බෑග් මුකුත් අරන් ගියේ නෑ හොඳ වෙලාවට. එක අතකට කොච්චර දුරද කියල කවුරුවත් දන්නෙ නැති එකත් හොඳට ගියා. ඇන්ටිගෙ බත් එකට පින් දිදී කට්ටියම හති දාගෙන බඩ ගාගෙන නැග්ගා. බාගයක් විතර නැග්ගට පස්සෙ පොඩි කඩයක් හම්බෙනව. එතනින් අහගෙන ඉතුරු ටික පොඩි කැලෑවක් අස්සෙන් ගිහින්, ඉලුක් ගාලක් මැද්දෙනුත් යන්න තියෙනවා. මේ හැමතැනදිම සෑහෙන්න සහයෝගයක් අපේ ඩෝල් බබාගෙන් තමයි ලැබුණේ.



ගිහිල්ල ඇල්ල පේන හරියට එද්දි හරිම සතුටුයි. අපි යන දවසෙ වැඩිය වතුර තිබ්බෙ නැති නිසා ඇල්ල වැටෙන තැනටම යන්න පුළුවන් වුණා. අපේ ඩෝල් බබා සෑහෙන්න කට්ටක් කාල කට්ටියම වතුරට බැස්සෙව්වා. එතන ඉතින් එක එක angle වලින් photo shoot එක හොඳටම කරා.









කට්ටියටව ගොඩට ගන්න තමයි අමාරු වුණේ. ඊට පස්සෙ ෂයිනිගෙ මස්සිනා, අපේ ඩෝල්ගෙ ආදරණීය හබී, අපිට බනිස් අරන් දුන්නා. එද්දි හම්බෙච්ච පොඩි කඩේ ගාවින් බෙලිමල් බිව්වා. කියන්න සතුටුයි ගෑණු ළමයි එක්කෙනෙක් වත් රුපියලක් වත් නැතුව තමයි කන්ද නැගල තියෙන්නෙ. හොඳ වෙලාවට ඩෝල්ගෙ හබී wallet එකත්  අරන් නැගලා තිබ්බෙ. 


බහිද්දි කට්ටියටම පාන් කියාගන්න බැරි තරම් මහන්සියි. අපි බණ්ඩාරවෙලට ආපහු වෑන් එකේ ඇවිත්, බදුල්ලට බස් එකේ ආවා. ගෙදර ගියපු ගමන් කට්ටියට පැණිම පැණි රස වෙනිවැල්ගැට පානයක් ෂයිනිලාගෙ අම්මා හදලා දුන්නා. ඊළග දවසෙ උදේම පිටත් වෙන්න ඕනෙ නිසා කට්ටියම හොඳට නිදාගත්තා. එදා රෑට කෑවෙ මොනවද කියලවත් මතකයක් නෑ. එච්චරටම මහන්සියෙන් හිටියෙ. 

ඊළග දවසෙ උදේ 7 ට විතර පිටත් වුණා එහෙන්. ෂයිනි හදපු Orange කේක් කෑලිත් එන ගමන් කෑවා කියල මතකයි.  එද්දි ෂයිනිලාගෙ අයියලා අඳුරන කඩයකින් අපි එළවලු ගත්තා. එන ගමන් උදේට ඇන්ටි හදලා දීපු පරිප්පුයි, සීනි සම්බලුයි පානුයි කෑවා.  හම්මේ ඒවයෙ රස. ආයේ ලස්සන කඩයක් ගාවින් නවත්තල තේ බිව්වා.  ආයේ පොඩි තැඹිලි කඩයකින් තැඹිලි බිව්වා. මීකිරි කඩයකින් මීකිරිත් ගත්තා.

 


දවල්ට කෑවෙ Highway service area එකෙන්. කොහොම හරි කොළඹ එද්දි හවස 4 විතර වෙලා. කට්ටියම ගෙවල් වලින් බැස්සුවා. තමාලිලගෙ ගෙදර පොඩ්ඩක් නැවතිල නිදාගත්තා හොඳටම මහන්සි නිසා. 320 km drive කරන එක ලේසිත් නෑ. ඒත් ආසාවෙන් ආවෙ. රෑවෙද්දි ඇගේ අමාරුවට පොඩ්ඩක් විතර උණ. වැඩිය නෑ පොඩ්ඩයි. ඊළඟ දවසෙම නිවාඩු දාලා නිදි. කොහොම හරි අමතකම නොවෙන තවත් ගමනක් ගිහින් ආවා. ගමනට සම්පූර්ණ සහයෝගය, ෂයිනිගෙ ගෙදර අයගෙන්. ඩෝල් සහ හබිතුමා, තාත්තා, අම්මා අක්කල නැත්නම් එහෙම ගමනක් යන්න වෙන්නෙ නෑ. බදුල්ල පැත්තෙ ඉතුරු ටික බලන්නත් ආයෙ යන්න ඕනෙ. එන්න කියාවිද නම් දන්නෙ නෑ. එදා දීපු වදේ හැටියට. එහෙමයි කියලා අපි සැලෙන්නෙ නෑ. ආයේ යනවා !


(This post is related to a trip I went with my friends to see waterfalls in Badulla & Bandarawela area. In this trip we covered Babarakanda waterfall, Lanka ella waterfall, Upper Diyaluma and the Lipton seat. Thank you everyone who helped us to complete this awesome trip sucessfully.)