Wednesday, September 23, 2015

විරු අභිනන්දන -2014

අපේ කල්පිට පුදුම උණක් තිබුණනේ හමුදාවට යන්න. ඒ දවස් වල photo එකතු කරනවා කවි ලියනවා වැඩ ගොඩයි. ළග පාතකින් army බස් එකක් ගියත් ඉවරයි. කොහොම හරි යුද්ධෙත් ඉවර වෙලා කාලයක් ගත වෙලා තිව්න නිසා කාටත් හමුදාවේ අය ගැන අමතක වෙලා වගේ ගිහින්. ඉතින් අපි මුලින්ම කරේ අපි ඉගෙන ගත්තු ඉස්කෝලෙට කළගුණ සැලකීමනේ. ඊට පස්සේ අසරණ ලෙඩ වෙලා ඉන්න අය වෙනුවෙන් දෙයක් කරා. අපිට හිතුනා ඊ ලගට කරන්න ඕනේ හොදම වැඩේ රට වෙනුවෙන්, අපි වෙනුවෙන් ජීවිතේම කැප කරපු අපේ හමුදාවේ අය වෙනුවෙන් මොනවා හරි අපිට පුළුවන් දෙයක් කියලා.

ඉතින් මෙහෙම හිතල කට්ටියගේ අදහස් ඇහුවා මේ ගැන. කට්ටියම කැමති වුන නිසා හොයලා බැලුවා ලෙඩ වෙලා ඉන්න රණවිරුවෝ ඉන්න තැනක්. අපිට ඒකට උදව් කරේ කුමුදු අක්කා. එයා දන්න කෙනෙක්ගෙන් රාගම රණවිරු සෙවනේ දුරකථන අංකය අරගෙන කතා කරලා අහල තිබුණා අපිට ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. ඊට පස්සේ අපේ රසාලිත් කතා කරලා වැඩි විස්තර ඇහුවා. එයාල ගොඩක්ම කිව්වේ අපිට නිකංම පරිත්‍යාග භාර දීලා යනවට වඩා එයාලාගේ පාළුව යන්න පොඩි සංග්‍රහයක් එක්ක වැඩසටහනක් කරලා සින්දු එහෙම කියලා එයාලත් එක්ක කතා කරලා යන්න පුළුවන් නම් ගොඩක් හොදයි කියලා.

ඉතින් අපේ ඉස්කෝලේ අපේ batch එකේ අනිත් අයත් එක්ක කතා කරහම එයාලත් කැමති උනා. ඒත් අපිට වැඩසටහන සංවිධානය කරන්න පුළුවන් උනාට වැඩසටහන මෙහෙයවන්න පුහුණු වෙන්නවත් කාලයක් නැති එක ලොකු ප්‍රශ්නයක් උනා. හැමෝම ඉතින් රැකියා කරන්නේ විවිධ තැන්වල නිසා කාටවත් කලින් දවසක් දාගෙන එකතු වෙන්න පුළුවන් කමක් තිබුනේ නෑ. අපිට යන්න වෙන්නේ ගොඩක් අයට නිවාඩු තියෙන සති අන්තයක දවසක. ඒ නිසා අපි ඉරිදා දවස තෝර ගත්තා. ඒත් එදාට රණවිරු සෙවනේ වාදක කණ්ඩායම අපිට ලබාගන්න උනේ නැහැ. ඉතින් අපිට වාදකයෙකුත් ගෙනියන්න සිද්ද උනා. එයාව හොයාගන්න උදව් කරේ අපේ office එකේ රොහාන් අයියා. අපේ කැම්පස් එකේ නදීර සහ නිශාදිටත් හොදට සින්දු කියන්න පුළුවන් නිසා ඒ දෙන්නත් වැඩේට එකතු කරගත්තා. ඒ අතරේ අපි Facebook එක හරහා අපේ batch එකේ අනිත් අයව දැනුවත් කරා මේ ගැන කියලා. අපේ යහනි වෙනදා වගේම හොඳ නමක් දැම්මා “විරු අභිනන්දන” කියලා.







කලනි සහ යහනිට වැඩසටහන මෙහෙයවන නිවේදක කටයුතු භාර දුන්නා. නදීරට සිංදු හොයන වැඩ භාර දුන්නා. ඒ අතරේ අපි පරිත්‍යාග ටිකයි, සංග්‍රහ වැඩ ටිකයි කරගෙන ගියා. අපේ ඉස්කෝලෙන් ඉගෙන ගෙන දැන් පිටරට උසස් අධ්‍යාපනය හදාරන නිහාරි, මහේෂි, රුවන්දිමා අපිට මුදලින් ගොඩක් ආධාර කරා.
අපි පරිත්‍යාග වලට දෙන්න සකස් කරේ සුදු ඇඳ රෙදි. අපිට සුදු ඇඳ රෙදි 100 ක් ගන්න පුළුවන් උනා ඒ වෙනකොට එකතු වෙලා තිබුණු සල්ලි වලින්. අපි ඒවා ගත්තු කඩෙන් ලොකු පෙට්ටි දෙකකට දාලා ත්‍රී වීල් එකටම ගෙනත් දුන්නා දෙන්නෙක්. ඒත් ත්‍රී වීල් එකෙන් ඒවා අරගෙන දුන්නේ ත්‍රී වීල් එකේ ආපු driver මාමා. ඒ පෙට්ටි උස්සන්න ගිහින් වැටෙන්නත් ගියා ඒ මාමා. ඉතින් ඒ මාමාටත් ගොඩක් ස්තූති කරා අපි අපේ කිසිම ඉල්ලීමක් නැතුව අපිට උදව් කරාට.

එදාට ඒ අයට සංග්‍රහ කරන්නත් අපේ අය ගොඩක් කැමැත්තෙන් එක එක ඒවා භාර ගත්තා. සමහරු මහන්සි වෙලා තමන්ගේ අතින්ම හදපු කෑම ගාල්ලේ ඉදන්ම අරන් ආවා.
ඉතින් ඔන්න කට්ටියම බලාගෙන හිටපු දවස ආවා. අපි කොළඹ ඉදන් යන අය වාහනයක් කතා කරගත්තා රාගමට යන්න. ගාල්ලේ ඉදන් එන අයයි, නදීරයි, නිශාදියි එතනටම ආවා. අපේ කැම්පස් එකේ රුසිරුත් කොහොම හරි කතා කරගත්තා. කලනිත් ගුවන් සේවිකාවක් උනත් එදාට සහභාගී වෙන්න ලංකාවේ හිටියා හොඳ වෙලාවට. අපේ office එකේ අමල් අයියයි දිනුෂි අක්කයිත් එතනටම එනවා කිව්වා.

කට්ටියම ආවට පස්සේ වැඩේ පටන් ගත්තා. අපි ආවට ස්තූති කරලා අපිව පිළිගත්තේ එතන භාරව ඉන්න ජනරාල්තුමා.ඊට පස්සේ නදීර මුලින්ම අම්මා ගැන සින්දුවක් කියලා හොද ආරම්භයක් ගත්තා.කලින් පුහුණු නොවුනත් යහනියි කලනියි නිවේදක කටයුතූ හොදින් කරගෙන ගියා. රණවිරුවොත් එක්ක එයාලගේ අත්දැකීම් කතා කර කර එයාලගේ ගීත ඉල්ලීම්නුත් ඉටු කරලා එයාලටත් සින්දු කියන්න අවස්ථාව දුන්නා. අතරින් පතර අඩු පාඩුත් නොවුන නෙවෙයි. ඒත් අපි හැමදෙයින්ම අපේ රණවිරුවෝ සතුටු කරන්න ගොඩක් මහන්සි ගත්තා අපිට පුළුවන් තරමින්. වේදිකාවේ ඉදන් සින්දු කියන්න ගීත ඉල්ලීම් දෙන්න නදීර, නිශාදි, ගයන්ති, චරිතා, උපේක්ෂ්‍යා සහ අපේ වාදකයා මහන්සි ගත්තා.



















ඒ වගේම ඒ අයට ගී පද හොයලා දුන්නේ ඉසුරියි රුසිරුයි. අමල් අයියයි, අමිතමල් අයියයි තමයි අපේ වැඩසටහනේ ඔක්කොම photos ගත්තේ.














රෝද පුටු වල හිටපු අයියල දෙන්නෙක් එක සිංදුවකට නැටුවා එයාලගේ රෝද පුටු වලම ඉදන්. එයාලගේ කකුල් නැති උනත් හිතේ දහිරියෙන් නටන හැටි දැකලා අපි හැමෝගෙම ඇස් වල කදුළු පිරුණා. ඒ අයගේ දස්කම් බලන්න අපි මෙතනට ආපු එකම කොච්චර ලොකු දෙයක් දෝ කියලා අපි හැමෝටම හිතුනා.




මේ හැමදේම වෙන අතරේ පියුම්නිලා සංග්‍රහ කටයුතු හොයලා බැලුවා.








අන්තිමට අපි ආධාරත් භාර දීලා අපි ඔක්කොම වේදිකාව උඩට ගිහින් කණ්ඩායම් ගීතයකුත් කිව්වා. අපි හැමෝටම හරිම සතුටුයි අපිට මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුනු එක ගැන.




වැඩසටහන ඉවර වෙලා යන්න ලේස්ති වෙනකොට අපි හැමෝටම ඒ අය අතට අත දීලා බොහොම ස්තුති කරා එයාලා බලන්න ආවට. ඒ වෙලාවේදී මම අතට අත දෙන්න ගියපු කෙනෙක් ගේ දකුණු අත තිබුනේ නෑ. තිබුනේ පොඩි කෑල්ලක් විතරයි. මම පත්වෙච්ච අපහසුතාවය දැකපු ඒ අයිය කියනවා “ඔහොම තමයි නේද ජීවිතේ” කියලා. ඇස් වලට ආපු කදුළු හංගන්න පුළුවන් කමක් උනෙත් නෑ. ඒත් ඒ අය ඉස්සරහ අඩන්නත් බෑ. බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා. අපි වෙනුවෙන් රට වෙනුවෙන් සටන් කරලා අපිට නිදහසේ එහා මෙහා යන්න ඉඩ හදල දීපු මිනිසුන්ට අද අත පය වත් නෑ නේද කියලා අපිට හිතුනා ඒ අය දැක්කම.






සංගීත වැඩසටහන ඉවර කරලා අපි ගියේ එතනට එන්න බැරුව ඇඳ උඩටම වෙලා ඉන්න රණවිරුවෝ බලන්න. ඒ අය දැක්කම ඇති වෙච්ච හැගීම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. දුක, ගෞරවය ඒ වගේම. යන්න එන්න බැරුව, ඇවිද ගන්න බැරුව මුළු ජීවිතේම ඇඳක් උඩට වෙලා ඉන්න වෙලා තියෙන්නේ අපිට නිදහසේ ජීවත් වෙලා ඉන්න රටක් ඉතුරු කරලා දෙන්න ගියපු නිසා නේද කියලා ලොකු ණය බරක් හිතට දැනුනා. අපි ඒ අයත් එක්ක විස්තර කතා කරා. ගොඩක් අයගේ ගෙවල් වලින් එන්නේ මාසෙකට සැරයක් වගේ කිව්වා. මේ අයට ඉතින් ගෙදර යන්නත් බෑ නෙ. ඉතින් ගොඩක් පාලුවෙන් තමයි ඉන්නවා ඇත්තේ. අපිට මෙහෙම හරි දවසක් එන්න පුළුවන් වුනු එක ගැන අපේ හැමෝම සතුටෙන් කතා කරා.


ඉතින් මෙන්න මේ විදිහට අපි එකතු කරගත්තු ලක්ෂෙකට විතර ආසන්න මුදලෙන් මේ වගේ දෙයක් කරලා එයාලටත් හිනාවක් දීලා ඒ හිනාවෙන් අපිටත් සතුටක් ලබන්න පුළුවන් වුණා. දැනුත් ඒ ගැන හිතනකොට ගොඩක් ආඩම්බරයි අපේ යාළුවෝ ගැන. මොකද අපි විතරක් කාල බීල හිනා වෙලා නටල ඉන්නවට වඩා තවත් කෙනෙක්ටත් හිනාවක් දෙන්න හදන ඒ වගේ අය අඩුයි අද. ඉතින් මගෙත් පරණ පිනකට ලැබිල ඉන්න යාළුවෝ ටිකත් එක්ක ඊළග පාර කරන දේගැන හිත හිත අපි එදා කෝච්චියෙන් ආපහු කොළඹ ආවා.

වෙනදා විදිහටම මේ වැඩේටත් එන්න පුළුවන් උනේ ටික දෙනාටයි. ඒත් අපිට උදව් කරපු අය බොහොමයි. ඒ හැමෝටම අපි කරගත්තු සියලුම පිං අනුමෝදන් වේවා. ඉදිරියටත් මෙවන් වැඩ කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා හද පතුලෙන්ම පාර්ථනා කරනවා..






















Monday, September 14, 2015

වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහලින්..




වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්..
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්...
රැදෙන්නට හැකි නම් ළමා කැල
හඩන දෙතොළග සිනා වක් වී...
පිපෙන්නට හැකි නම් තුරින් තුර
නෙලා ගත හැකි වන මලක් වී....
නිදන්නට හැකි නම් දෙනෙත් තුල
සැබෑ වෙන සුභ සිහිනයක් වී...
ගැයෙන්නට හැකි නම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී....




Saturday, September 5, 2015

රජෙක් උනත් ගිලන් උනොත් - 2013




අපි "අමා දම් සර" කරලා අවුරුද්දක් විතර ගියා. ඊලගට මොකද්ද කරන්නේ කියලා කල්පනා කරහම කල්පි ට ඕනේ උනා කරාපිටිය පිළිකා රෝහලට ට අධාරයක් කරන්න. අපි ඉතින් කලින් වගේ මුළු batch එකටම කියලා වැඩේ කරන්න ගියේ නැහැ. ළග ළග අයට කිව්වා. අනිත් අයට messages දැම්මා. ගොඩක් අය කැමති උනා උදව් කරන්න.වරුණිකාගේ අම්මා නැති උනෙත් පිළිකාවක් එකක් නිසා එයාටත් ඕනේ වෙලා තිව්නේ පිළිකා රෝහලට මොනවා හරි අධාරයක් කරන්න.

ඉතින් අපි කරාපිටිය පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යතුමත් ( උපුල් ඒකනායක ) එක්ක කතා කරා. එතුමා අපේ අදහස ගැන සතුටු වෙලා අපිට උදව් කරන්න කැමති උනා. ඉතින් අපිට දැනගන්න ලැබුණා කරාපිටිය පිළිකා සරණ සංගමය ට අඩු පාඩු වෙලා තියෙන ශල්‍ය උපකරණ බෙහෙත් සහ වෙනත් උපකරණ ගැන.

කරාපිටිය පිළිකා සරණ සංගමය ගැන කිව්වොත් කරාපිටිය පිළිකා රෝහලෙන් ප්‍රතිකාර අරන් ඒත් දුර නිසා හරි සල්ලි නැති කම නිසා හරි වේදනාව වැඩි නිසා බෙහෙත් ගන්න එන්න බැරි එක් තැන් වෙලා ඉන්න රෝගීන්ගේ ගෙදරට වෛද්‍ය කණ්ඩායමක් ගිහිල්ලා ඒ රෝගියාව සෝදලා පිරිසිදු කරලා, ඉන්න තැන සකස් කරලා, තුවාල වලට බෙහෙත් දාල, අවශ්‍ය සියලුම දේ කරලා ගතට සහනයක් දීලා අන්තිමට පිරිත් කියලා සිතටත් සහනයක් දෙන වැඩසටහනක්. ඉතින් මේ පුණ්‍ය කර්මයට ස්ව කැමත්මෙන්ම ඉදිරිපත් වෙන පිං කැමති පිරිසක් එකතු වෙලා හදාගත්තු සංවිධානයක් තමයි පිළිකා සරණ සංගමය කියන්නේ. ඉතින් ඒකට අවශ්‍ය උපකරණ බෙහෙත් තමයි, අපිට පුළුවන් නම් අරන් දෙන්න කියලා වෛද්‍යතුමා කිව්වේ.

ඉතින් අපි හැමෝගෙන්ම සල්ලි එකතු කරලා දවසක් දාගෙන බඩු ගන්න ගියා. එදා අපිට ගොඩක් උදව් කරේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන අපේ ඉසංකා. එයා ගන්න ඕනේ බඩු ලයිස්තුව අනුව බඩු ටික හරිද බලලා තව ගන්න ඕනේ දේවල් කිව්වා. ඉතින් ඔක්කොම බඩු ටික අරන් ත්‍රී වීල් එකක දාගෙන වරුණිකාලගේ ගෙදරින් ගිහින් තිව්වා.
අපිට මේ අධාර දෙන්න පිළිකා සරණ සංගමයේ මහා සභා රැස්වීමට උපුල් ඒකනායක වෛද්‍යතුමා ආරාධනා කරලා තිබුණා. ඉතින් එදා හවස එකට විතර අපි ටික දෙනෙක් ඒ රැස්වීමට සහභාගී වෙලා ආධාර ටික භාර දෙන්න කරාපිටිය පිළිකා රෝහලට ගියා.









ඒ රැස්වීමට ඇවිත් හිටියා උපුල් ඒකනායක වෛද්‍යතුමාගේ කල්‍යාණ මිත්‍ර, මහරගම පිළිකා රෝහලේ සමාධි රාජපක්ෂ වෛද්‍යතුමා. එතනදී අපිට අහන්න ලැබුණා මේ පිළිකා සරණ සංගමය ආරම්භ වුන හැටි ඒ සංගමයෙන් කරපු වැඩසටහන්, දැනට කරගෙන යන වැඩසටහන් වගේ ගොඩක් විස්තර.
හිතට හොදටම වැදුනු දෙයක් තමයි ලෙඩ වෙලා ඉන්න හාමුදුරුවන්ට කරපු උපස්ථාන. ඒ වගේම හැම මාසෙකම ඉරිදා දවසක පිළිකා රෝගීන්ට කරන උපස්ථාන. මේ සංගමයේ තේමාව තමයි "ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුන්ට උපස්ථාන කිරීමයි" කියන එක. ඉතින් අපිටත් මේ වගේ පුංචි හරි ආධාරයක් කරන්න පුළුවන් වුන එක ගැන හිතට ලොකු සතුටක් දැනුනා. අපිට එකතු වෙලා තිබුණා රු. 55000 ක් වගේ මුදලක්. ඒ සල්ලි වලින් අපි ගත්තු ශල්‍ය උපකරණ ටිකයි, බෙහෙත් ටිකත් භාර දීලා ඉතුරු මුදල් වලිනුත් අපි ආධාර කරා.

මහා සභා රැස්වීම අවසානයේ වෛද්‍ය සමාධි රාජපක්ෂ විසින් මෙහෙයවපු බෝධි පුජාවක් සංවිධානය කරලා තිව්නා. අපිට එකටත් සහභාගී වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් කලින් "අමා දම් සර" කරා වගේම මේකටත් ගොඩක් අය උදව් කරා. එදා ඒ හැමෝටම එන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඉතින් අපිට වචනෙකින් හරි උදව් කරපු සියලුම දෙනාටම අපි කරගත් සියලු පිං අනුමෝදන් වේවා !










පිළිකා සරණ සංගමයට ආධාර කරන්න කැමති නම් වැඩි විස්තර මෙතනින් http://cancercaresl.com/contact-contribute/

Sunday, August 30, 2015

අමා දම් සර - 2012




කොහේදෝ තිව්‍න පිනක් පෑදිලා මට කරාපිටිය පිළිකා සරණ සංගමයෙන් සංවිධානය කරපු "අනුරපුර වන්දනා" වැඩසටහනට සහභාගී වෙන්න ලැබුණා. ඉතින් ඒ ගමනට අපේ ඉස්කෝලේ යන කාලේ හිටපු මං ගොඩක් ගෞරව කරපූ මිස් කෙනෙකුත් ඇවිත් හිටියා. මං කතා කරලා මාව අදුන්වලා දීලා එහෙම ඉතින් වන්දනාවේ වැඩ කරන් හිටියා. අපි රුවන්වැලි සෑය ගාව සිල් ගත්තා. හවස කප්රුක් පූජාවක් සංවිධානය කරලා තිව්නා. ඒකට ගොඩක් නෙලුම් මල් ගෙනත් තිව්නා. ඒ වෙලාවේ මට එක පාරටම හිතුනා අපේ යාළුවෝ ටිකත් එකතු කරගෙන අපේ ඉස්කෝලේ ඔක්කොම ගුරුවරු එකතු කරලා නෙලුම් මල් පූජාවක් කරන්න ඕනේ කියලා. මං දුවගෙන ගිහින් ඒ වෙලාවේම මගේ අදහස කිව්වේ අපේ ඉස්කෝලේ මිස්ට. මිසුත් ඒක කරන්න පුළුවන් වෙන්න කියලා ආශිර්වාද කරා.

අදහස නම් කොහෙන් ආවද මං දන්නේ නෑ. ඒත් ඒ අදහස මගේ යාළුවෝ ටිකට කිව්වම කව්රුත් බෑ කිව්වේ නම් නෑ. තවත් ටිකක් කල්පනා කරන කොට හිතුනා හාමුදුරු කෙනෙක් වඩම්මලා බණකුත් කියන්න ඕනේ කියල. අපේ ඉස්කෝලේ අපේ වයසේ ඔක්කොම වගේ ඒ දවස් වල කැම්පස් වල ඉගෙන ගන්නවා. ඉතින් කාටවත් වැඩිය වියදම් කරන්න පුළුවන් කමක් තිව්‍නෙ නෑ. ඉතින් සල්ලි ප්‍රශ්නෙට තමයි ගොඩක් බය උනේ. ඕනේ දෙයක් කියලා වැඩේ පටන් ගත්තා.

අපේ ඉස්කෝලේ වැඩ වලට කවදත් සම්බන්ධ වෙන බෝගහගොඩැල්ල පන්සලේ හාමුදුරුවොත් එක්ක ගිහින් කතා කරාම හාමුදුරුවොත් උදව් කරන්න කැමති උනා. අපේ කල්පි දහම් පාසල් ගිහින් තිබුනේ ඒ පන්සලට නිසා හාමුදුරුවොත් හොඳට අදුරනව. ඉතින් අපි දොඩම්පහල ශ්‍රී රාහුල හාමුදුරුවන්ට බණට ආරාධනා කරා. බැනර්, පෝස්ටර්, අන්දලා ඔක්කොම ලේස්ති කරා. අපිට එක බැනර් එකක් ඇදලා දුන්නේ අපේ ඉස්කෝලෙම කලින් හිටපු සර් කෙනෙක්.








අපි 2008 කණ්ඩායමට නමක් දාගත්තා “සියාර” කියලා. ඒකේ තේරුම “සිය ආර” කියන එක. මහන්සි වෙලා logo එකකුත් හැදුවා. ඒත් සමහර අය කියන්න පටන් ගත්තා ඇයි මේ තව නමක් කියල. අපි ඉතින් ඒ නම පාවිච්චි කරන එක නැවැත්තුවා. ඒ අයටත් තෙරුන් කරලා දුන්නා.
ඇත්තටම කිව්වොත් පෝස්ටර් ගහන්නවත් කව්රුත් හොයාගන්න හිටියෙ නෑ. අපේ ගයන්ති තාත්තත් එක්ක ගිහින් තමයි ඒ වැඩේ කරේ. බැනර් ටික ගහන්න නම් Richmond එකේ අපේ යාළුවෝ දෙතුන් දෙනෙක් උදව් උනා. අපි ගොඩක් අය දවසක් කතා කරගෙන ඉස්කෝලෙට ගිහින් මිස් ලට අරාධානා කරා. කලින් හිටපු මිස්ලට ලියුම් යවල හරි ගෙදරට හරි ගිහින් කිව්වා.

මේ අතරේ අපි එදාට මිස්ලට දෙන්න කියලා CD වගයක් සහ කවි පන්තියක් ලේස්ති කරා. අකිලා CD වැඩේ කරන අතරේ යහනි අතින් ලස්සන කවි ටිකක් ලිය උනා. 2012 ජූලි 28 තමයි අපි යොදා ගත්තු දවස. ඊට කලින් දවසේ අපි පන්සල් වත්ත සුද්ද කරලා, කොඩි දාලා සරසන වැඩ ටික කරා. අපිට ලයිට් වැල් ඇද ගන්න එක තමයි ඊළග ප්‍රශ්නෙ උනේ. මදුෂාගේ යාළුවෝ දෙන්නෙක් කොහේද වෙන ගමනක් යන ගමන් ඇවිත් ඒකට අපිට උදව් කරා. මල්ෂා, මධූ , ඉසංකා, තමාලි, චාරුණිලා ඇවිත් පහන් එහෙම සුද්ද කරලා දුන්නා. පියුම්නිගේ තාත්තා එවපු මාමා කෙනෙක් කොඩි ටික දාන්න උදව් උනා. හාමුදුරුවෝ ගම වටේ announce කරගෙන ගියා නෙළුම් මල් පූජාව ගැන. අපේ කට්ටිය ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. එදා අපි ගෙදර යද්දී හොදටම හවස් වෙලා.

එදාට මල් ටික හොයාගන්න එක තමයි ඊට පස්සේ තිව්‍න ප්‍රශ්නෙ. ඒකට උදව් කරේ අපේ කැම්පස් එකේ ඩිලාන් මල්ලි. එයා කැලණියෙන් මල් ටික අරගෙන ත්‍රී වීල් එකක දාගෙන කොටුව ස්ටේෂන් එකට ගෙනත් දුන්නා. එයාගේ තාත්තාගෙන් මල් ටිකක් වැඩිපුරත් ලැබුණා. හොඳ වෙලාවට අපේ උපේක්ෂාගේ තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙක්. Uncle ගොඩක් උදව් කරා train එකට මල් ටික දාගන්නත් ආයේ ගාල්ලෙන් ගන්න වැඩ ටිකට. කල්පියි තව එයාලගේ කැම්පස් එකේ යාළුවෙකුයි ගාල්ලට අරන් ආවා මල් ටික train එකේ දාගෙන.

එදා උදේ කට්ටිය ඔක්කොම පන්සලට එකතු වෙලා මල් හැදුවා. කොච්ච්ර දුර උනත් අපේ කැම්පස් එකේ තමාලි යි තාරයි චාරකයි උදේම ආවා. චාරක ඉතුරු බල්බ් වැල් ටික දාලා දුන්නා. දුර ඉදන් ඇවිත් තිබුනත් මට එයාල ගැන හොයන්නවත් වෙලාවක් තිබුනේ නෑ.
















අපේ කලින් උගන්නපු විශ්‍රාම ගියපු මිස්ලායි දැන් ඉස්කෝලේ ඉන්න මිස්ලයි ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා. ඒ වගේම ගමේ දායාක පිරිස්, දහම් පාසලේ ළමයි ගොඩක් අය බණ අහන්න ඇවිත් හිටියා.








ඉතින් හවස දොඩම්පහල හාමුදුරුවෝ වැඩලා බණ වලින් පස්සේ තිවනේ අට විසි බුද්ධ පුජාව. ඒකට ලේස්ති වෙන අතරේ යහනිගේ කවි ටික ගායානා කරේ නිදුකයි භාග්‍යයයි දෙන්නා. මිස්ලගේ අතට පිරිත් CD එකත් එක්කම කවි ටිකත් කොලයක print කරලා දුන්නා.

කිරි කැටි සොඳුරු සිතුවිලි පුරවා මනසේ
ලොව සුපිපෙන්න වෙර දරනා හැඩ මල් සේ
සඟමිත් බිමට පෑ තැබූ ඒ මුල් දවසේ
මතකයි ඔබේ මුහුණ හා සෙනෙහස එකසේ
මගේ අතින් අල්ලා හැඩ අකුරු රවුම්
ලියූ හැටි තාම මතකයි හද මවා සිතුම්
තවමත් සිතේ ඇත ඔබ ඒ ඇඳි සිත්තම්
අම්මා ලියන්නත් බෑ මට ඔබ නැත්නම්
ඔබගේ අදර දූවරු සිය දහස් දෙනා
මේ ලොව සිටියි ඔබ හින්දම දිවිය දිනා
එපිනෙන් සියලු සැප ලැබ දුක් නොලැබ සදා
දිගු කල් වැජබෙන්න ගුරු දෙවි වරුනි සදා
පබැඳුම : යහනි පංකජා

මේ වගේ කවි 50 ක් විත‍ර යහනි ලියලා තිව්නා. ආපු අනිත් යට කරණීය මෙත්ත සූත්‍රයේ සිංහල තේරුම කොලයක print කරලා දුන්නා. ඊට පස්සේ මල්, පහන්, අතින් අත යවලා අට විසි බුද්ධ පුජාව කරලා ටිකක් රෑ වෙද්දී පහන් පත්තු කරා.
















අපේ නෙළුම් මල් පුජාවේ ඡායාරූප ටික ගත්තේ Richmond රළ කණ්ඩායමේ සහෝදරයෙක්. ඉතින් මේ විදිහට පුදුම කට්ටක් කාලා අපේ යාළුවො ටික එකතු වෙලා ගොඩක් දෙනෙක්ගේ සහයෝගය ඇතුව “අමා දම් සර” වැඩසටහන සාර්ථකව අවසන් කරන්න පුළුවන් උනා. ඉතින් හැම දෙනාටම පුදුම සතුටක් හිත වලට.




මෙතන කියන්න බැරි උන තව හුගක් දෙනෙක් අපිට නොයෙක් වැඩ වලට උදව් උනා. එදාට එන්න බැරි උනත් අපේ ගොඩක් යාළුවො මොනම දේකින් හරි සහභාගී උනා. ඉතින් අපේ වැඩසටහනට වචනෙකින් හරි උදව් කරපු හැමදෙනාටම අපි කරගත් සියලු පිං අනුමෝදන් වේවා ! අපේ 2008 කණ්ඩායමට තව තවත් මේ වගේ වැඩ කරන්න ලැබේවා කියලා මම පාර්ථනා කරනවා.

(මතක විදිහටයි ලිව්වේ. වැරදීමක්, අඩු පාඩුවක් වෙලා තියෙනවා නම් සමාවෙන්න)




Sunday, August 23, 2015

සත්තු වත්තේ දවසක්

අවුරුදු 20 කට පස්සේ දෙහිවල සත්තු වත්ත බලන්න ගියා. පුංචි ළමයින් තමයි ගොඩක් ඇවිත් හිටියෙ. එක අතකට හිතෙනවා කම්බි වලින් කොටු කරලා සිමෙන්ති පොලවේ ඉන්න සත්තු පෙන්නලා ළමයින්ව සතුටු කරන්න පුළුවන් ද කියලත්. හැම සතෙක්ම මහා දුකකින් ඉන්නවා වගෙයි මට පෙනුනේ නම්. පුංචි ළමයින්ට නම් දහසක් ප්‍රශ්ණ. අම්මලට උත්තරත් නෑ සමහර ඒවට.
















දවල්ට නිදා ගන්නවා කිව්වාට මෙයා නම් ඇහැරිලයි හිටියෙ








මං දැකපු ලස්සනම දෙන්නා..

























අතරින් පතරේ ලස්සන මල් දෙකකුත් දැක්කා.








සිමෙන්ති ගුහා























මේ ඉබ්බෝ ටික අව්ව තපින්නේ කොහේ ඉදන්ද බලන්නකෝ
















කියාගන්න බැරි නිසා ලොකු දුකක් හිතේ දරාගෙන ඉන්නවා වගේ මෙයාගේ ඇස් දෙක නම්.





මෙයා කල්පනා කරේ මොනවද නම් මම දන්නේ නෑ. ඒත් හිටියෙ නම් බොහොම ලොකු කල්පනාවක. සමහර විට මෙයාලව බලන්න එන මිනිස්සු ගැන කල්පනා කරනවා ඇති. මේ සත්තු කොහෙන් ආවද කියලා