Saturday, May 20, 2017

ටයිරන්ට්ස්...



















































ගාල්ල අනුලා දේවි බාලිකා විද්‍යාලයේ නාට්‍ය හා රංග සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද නාට්‍යකි.





Saturday, April 1, 2017

යන්න තියෙනවා හෙට ඉස්කෝලේ...

යන්න තියෙනවා හෙට ඉස්කෝලේ...
ඉක්මනට රෑට කාලා,
ඉක්මනටම නිදා ගන්න ඕනේ...
ඒත් නින්ද යයිද දන්නෙත් නෑ...
හෙට පරණ යාළුවො ටික
ඔක්කොම හම්බවෙනවා...
පරණ මිස්ලා ටිකත් ඒවී මං හිතන්නේ..
අවුරුදු 13 ක් ම හිටපු අපේ ගෙදර..
කොච්චර මතක ගස් අස්සේ හැංගිලා ඇති ද...
කරපු කතා, අහපු බැනුම්...
ගොඩාක් හිනා හඩවල්,
තාම බිත්තිවල ලියවිලා ඇති..
පිට්ටනියේ දුවන්න,
පරණ පන්තියේ
ඩෙස් පුටු වල වාඩි වෙන්න...
ආයෙත් කවදාවත් යන්න බැරි
අතීතයේ දවසකට..
එක දවසකට හරි හෙට මම යනවා..
ඔයාලත් එනවා නේද ?

රුක්ෂිකා මදුෂානි




Friday, January 6, 2017

සැදැහ සිතින් සුභ පතන්නෙමි....



ආදරය කලෙමි ඔබේ නිහඩ බවට....
සවන් දුනෙමි ඔබේ නිවුණු අදහස් වලට....
දුටුවෙමි ඔබ කල සුන්දර දේවල්...
උත්සාහ කලෙමි වටහා ගන්නට
ඔබේ සිතුවිලි...
සතුටු වුනෙමි ඔබේ යහගුණ දැක..
සිත් ගත්තේය ඔබේ විනීත බව...
රස වින්දෙමි ඔබේ තාල...
දුරින් ඉඳ රස වින්දෙමි
සිතිජයේ ඉම...
එනමුත්,
නවතාලමි මෙතුවක්
සිතින් බැඳි සෙනෙහස..
සැදැහ සිතින් සුභ පතන්නෙමි...
හෙට දිනයේ
ඔබේ අභිනික්මනට...




( දන්න කියන කෙනෙක්ගේ අත්දැකීමක්... ;) )




Tuesday, January 3, 2017

ආදරය කරන්න පොත් වලට..

කාලෙකට කලින් ලියපු එකක්. හදිස්සියේම හම්බුණා.

ආදරය කරන්න පොත් වලට..
සදහටම හිත රිද්දන්නෙ නෑ කවදාවත්ම
මොහතකට ඇඩෙව්වත් ඒ ජීවිතයට 
ගොඩක් දෙවල් දීලයි.
ලෝකෙ වටේම යන්න පුළුවන්
මහා මන්දිර ඇතුලෙ, 
දුප්පත් පැල් අතරෙ සැරි සරන්න,
සිහින ඇතුලෙ වගේම,
පොළවෙ පය ගහලා ඉන්න 
හැටිහරියට සතුටු වෙන හැටි 
ඉගෙන ගන්න, 
පණ තියෙන කෙනෙක්ට වඩා 
අපිට හිනාවක් දෙන,
කවදාවත්ම අත් ඇරල යන්නෙ නැති 
හැමදාම ඉන්න ප්‍රේමවන්තයෙක්,
කල්‍යාණ මිත්‍රයෙක්..
ආදරය කරන්න පොත් වලට..




Saturday, December 31, 2016

උදා වූ නව වසර,

ගහ, කොළ නිලෙන් දිදුලා 

පලෙන් බරවන...

ඇළ, දොළ, ගංගා නිල් දියෙන් 

පිරී ඉතිරී යන...

නිසි කලට වැසි ලැබී 

කෙත් වතු සරුවන...

බියෙන් තොර වී 

සියළු සතුන් සුවපත් වන...

සියළු මිනිසුන් තුල 

මෙත් සිතුවිලි උතුරන...

නුවණැස ලැබී 

දහම් ඇස පහළවන...

සියළු යහපත් පැතුම් ඉටුවන...

සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !





Tuesday, November 29, 2016

අනුරපුර වන්දනා - 2016


පිළිකා සරණ සංගමයෙන් ආයෙත් අනුරාධපුරේ යනවා කියලා මට කිව්වේ මගේ කල්‍යාණ මිත්‍ර රනුෂි. ආරංචි උන ගමන් මම මගේ නමත් දාන්න කියලා අපේ පුංචිට කිව්වේ ගිය පාර ගියපු වන්දනාවේ රස මතක් වෙලා. ඒත් එයාටත් අමතක වෙලා නම දාන්න. කොහොම කොහොම හරි කොළඹගේ මිස් ගේ උදව්වෙනුයි අපේ කමලා සිස්ටර් ගේ උදව්වෙනුයි මගේ නමයි අම්මගේ නමයි දාගන්න පුළුවන් වෙලා. ආරංචිය අහපු දවසේ ඉදන්ම මම ඔෆිස් එකේ වැඩ වෙන කෙනෙක්ට පවරලා නිවාඩු දාලා එහෙම ගමන යන්න ලේස්ති උනා. සෙනසුරාදා උදේම යන්න තිවන නිසා සිකුරාදා ගෙදර ඇවිත් එහෙමම කරාපිටි යන්න ඕනේ වුණා. සිකුරාදා එද්දී හොදටම වැස්ස. පාරේ traffic නිසා රෑත් වුණා.
කොහොම හරි ගෙදර ඇවිත් අම්මත් එක්ක රෑම කරාපිටි ගියා. උදේ 4 ට විතර නැගිටලා ලේස්ති වෙලා බඩුත් උස්සන් cancer hospital එක ගාවට ගියේ අපේ අම්මයි මමයි අපේ sister කමලයි. අපි යනකොටත් ටික දෙනෙක් ඇවිත් හිටියා. ටික වෙලාවක් වාඩි වෙලා ඉන්නකොට අනිත් අයත් ආවා.
අපි පන්සිල් සමාදන් වෙලා ටික වෙලාවක් මෛත්‍රී භාවනාව වැඩුවා. අපේ වන්දනාවේ ප්‍රධාන සංවිධායක පියසේන මාමා අපේ වන්දනාවේ වැඩ පිළිවෙල ගැන කෙටි විස්තරයක් සහ මේ වන්දනාවේදී අපි හැසිරෙන්න ඕනේ ආකාරය, අනෙකා කෙරෙහි අනුකම්පාවෙන් සැලකීම ගැන කෙටි විස්තරයක් කරා. ඒ අදහසුත් හිතේ තියාගෙන අපි බස් එකේ වාඩි වෙලා සාධු කාරයක් දුන්නේ ගමන ආරම්භ කරන්න. යන අතරේදී දෙදින වැඩ පිළිවෙලේ කාලසටහන තියෙන කොළයක් අපි හැමෝමඅතට හම්බුණා. බස් එකේ රේඩියෝ එකෙන් ඇහුනේ පිරිත් සජ්ජායනක්. අපි ඇස් පියාගෙන පිරිත් වල අර්ථය මෙනෙහි කරා. වෙනත් තැන් වලින් ධර්ම සාකච්චා ඇහුණා. පිරිත් ඉවර වුණාට පස්සේ අපි ඇහුන්කන් දුන්නේ පුජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්චා වලට.


අපි දවල් 12 ට විතර වගේ අපි අනුරාධපුරයට ආවා. දවල් ආහාරයෙන් පසුව අපි ටිකක් විවේක අරගෙන 3 ට විතර ශාලාවට රැස් වෙලා පළමු අංගය ආරම්භ කරන විදිහ සාකච්චා කරා. ප්‍රධාන සංවිධායක පියසේන මහතා කෙටියෙන් පිළිගැනීමේ කතාවක් කරලා පිළිකා සරණ සංගමයේ අරමුණ කෙටියෙන් පැහැදිලි කරා. පිළිකා සරණ සංගමයේ ආරම්භය හැමෝටම මතක් කරලා දුන්නේ ලොකුගේ මහතා. අපේ සමාධි වෛද්‍යතුමා මූලික වෙලා කෙටියෙන් බුද්ධ වන්දනාවක් කරලා අපිට ඊළග වැඩ පිළිවෙල මතක් කරලා දුන්නා. 4 ට වගේ අපි රුවන්වැලි මහා සෑයට යන්න පිටත් වුණේ කලින් සංවිධානය කරලා තිබුණු කප්රුක් පූජාවට සහභාගී වෙන්න ආයෙත් බස් රථයට ගොඩවුණේ දම් පාට වෙලා තියෙන අහස දිහා බලාගෙන “අනේ දෙවියනේ වහින්න නම් එපා” කියන අහිංසක ප්‍රාර්ථනයකුත් එක්ක.

අපි රුවන්වැලි මහා සෑයට ගිහින් කප්රුකත් අරගෙන හේවිසි කණ්ඩායමත් එක්ක රුවන්වැලි සෑය වටේ පැදකුණු කරලා කප්රුක පූජා කරා. අපි පූජා කරපු චීවර කප්රුක රුවන්වැලි සෑයේ වටේටම පෙනෙද්දී පුදුම සතුටක් දැනුණේ.









ඊට පස්සේ අපි සලපතන මළුවේ අයිනක වාඩි වෙලා සමාධි වෛද්‍යතුමා සමඟ බුදුන් වදින්න පටන් ගත්තා. අපි ගාථා කියලා අපි සකස් කරපු කප්රුක රුවන්වැලි මහා සෑ රදුන්ට පූජා කරා. ටික වේලාවක් භාවනා කරලා, දෙවියන්ටත් ආරාධනා කරලා උතුම් වූ දම්සක් පැවතුම් සූත්‍රය සජ්ජායනා කරා. ඊට පස්සේ මල් ආසන වල පරමල් අයින් කරලා මල් ආසන සුද්ද පවිත්‍ර කරා. එදා හවස් වරුවේ කරගත්තු සියළුම පින් සියළුම දෙවියන්ටත්, සියළුම සත්වයන්ටත් අනුමෝදන් කරලා මළගිය ඥාතීන්ටත් පින් දීලා තෙරුවනුත් සමා කරගෙන එදා රෑ 9.30 වගේ වෙද්දී ආපහු නවාතැනට අවා. මේ වෙනකංම පොඩි වැස්සක්වත් වැටුනේ නම් නෑ.

එදා 4 ට විතර නැගිටලා සිල් ඇඳුම් ඇඳගෙන අපි පහළට ගියේ කිරි පිඬු දානය සකස් කරන්න උදව් කරන්න. උදේ 3 ට පමණ කිරි පිඬු දානය සකස් කිරීම ආරම්භ කරලා තිව්නා. එය මුකවාඩම් බැදගෙන හිස් ආවරණ බැදගෙන කරන දෙයක් නිසා තෝරගත්තු සුළු පිරිසක් පමණයි සහභාගී වුණේ. අනිත් කැමති අයට පිරිත් සජ්ජායනා කරමින් සහභාගී වෙන්න පුළුවන් කම තිබුණා. අපි පහළට ගිහින් ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කරමින් එක එක්කෙනා කිරි පිඬු බෙදන්න උදව් වුණා. කිරි පිඬු පාත්‍ර වලට තෙවරක් කිරි පිඬු බෙදන්නට හැම කෙනාටම අවස්ථාව ලැබුණා. ඉන් පස්සේ ඒ කිරි පිඬු සහිත පාත්‍ර වලට කජු, වියලි මිදී , තවත් රස කැවිලි වර්ග මී පැණි, ගිතෙල් එකතු කරා. කිරි පිඬු පාත්‍ර 3 ක් සකස් කරලා පලතුරු වර්ග සෝදලා පළතුරු සහිත පාත්‍රයක් හදලා, කැවිලි වර්ග සහිත පාත්‍රයක් සහ දැහැත් වට්ටියක් සකස් කරා. කිරි පිඬු සහිත පාත්‍ර රන් සළු රිදී සළු වලින් ඔතලා තවත් අලංකාර සළු වලින් එතුවා. මේ සියල්ල අපි කරේ ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කරමින් එක එක්කෙනා පසු පස එක එක්කෙනා ලෙසින් පුදුම සඤමයකින්.



ඊට පස්සේ සමාධි වෛද්‍යතුමා අපිට මතක් කරලා දුන්නේ කිරි පිඬු පූජාවේ ආරම්භය. මුලින්ම මේ කිරි පිඬු පූජාවක් පූජා කරන්නේ එදා දඹදිව හිටපු සුජාතා සිටු දියණිය. කව්ද මේ සුජාතා සිටු දියණිය කියන්නේ ? සුජාතා සිටු දියණියට ඇත්තු පස් දෙනෙක්ගේ කාය ශක්තිය තිබුණ. ඒ වගේම මේල පළදනාවක් පළඳපු කෙනෙක්. මේල පළදනාවත් ඇත්තු 5 දෙනෙක් පමණ බරයි. මේල පලදනාවන් තිබුණු කාන්තාවෝ පස් දෙනෙක් එදා දඹදිව හිටියා. විශාකා, සුජාතා, කෝසල මල්ලිකා යනාදී වශයෙන්. මේ හැම කෙනාටම ඇත්තු පස් දෙනෙක්ගේ කාය ශක්තිය තිබුණා. බුදු හාමුදුරුවන්ගේ කාය ශක්තිය කොච්චරද ? බුදු හාමුදුරුවන්ට දස බල ධාරී මුණි කියලත් කියනවා. දස බල ධාරී කියන්නේ ඇත්තු දස දෙනෙක්ගේ කාය ශක්තිය. කලාවක - ගංහෙයිය - තඹර - පිංගල - පණ්ඩර - මංගල- ගන්ධ - හේම - උපෝසක - සද්ධන්ත වශයෙන් ඇත් කුල දහයක් තියෙනවා. කලාවක ඇත්තු දස දෙනෙක්ගේ කාය ශක්තිය ගංහෙයිය ඇතෙකුට හිමියි. අන්තිම කුලය තමයි සද්දන්ත. මේ සද්දන්ත කුලේ ඇත්තු දස දෙනෙක් ගේ කාය ශක්තිය බුදුන් වහන්සේට හිමිව තිබුණා. ඒ වගේම මේ කාන්තාවන්ට ඇත්තු පස්දෙනකුගේ කාය ශක්තිය තිබුණු බව සදහන් වෙනවා.

සුජාතා සිටු දියණිය තනිකඩව ඉන්න කොට නුග රුක ළගට ගිහින් භාරයක් වෙනවා තමන්ට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබෙන්නත් ලැබෙන පළමු දරුවා පිරිමි දරුවෙක් වෙන්නත්. ඉතින් මේ පාර්ථනා ඉටු වුණු නිසා මේ භාරය ඔප්පු කරන්න කිරි පිඬු සකස් කරන්න ආරම්භ කරා. සුවඳ පැනින් කුඹුරේ බිම සකස් කරලා සුවදැල් වපුරලා හාල් සකස් කරගත්තා. එළදෙනුන් දහසකට වැල් මී පත්‍ර කන්න දීලා ඒ දහසගේ කිරි, එළදෙනුන් පන්සීයකට බොන්න දුන්නා, ඒ පන්සීය දෙනාගේ කිරි එළදෙනුන් දෙසිය පනහකට බොන්න දුන්නා. මේ වගේ එළදෙනුන් දොළොස් දෙනෙක් වෙනකන් මේ විදිහට කිරි පොවලා හදා ගත්තා. මේ දොළොස් දෙනාගේ තන් බුරුළු වලින් වැල් මී සුවඳ වෑස්සෙන කිරි වලින් බර වෙලා තිබුණා කියලා සදහන් වෙනවලු.

මෙහෙම සකස් කරගත්තු කිරි සහ සහල් වලින් එදා කිරි බත පැසෙද්දී කිරි දක්ෂිනාවර්තව කැරකෙමින් දුම් වළලු උඩට නැගෙන්න වුණා. මේ දුම් වළලු උඩට නැගෙද්දී ඒ සුවඳ දිව්‍ය ලෝක වලටත් පැතිරුනා. ඒ සුවඳ දැනුණු සක්‍රයා මේ සුවඳ මොකද්ද කියල සොයා බලද්දී දැනගත්තා සුජාතාව පූජා කරන්න කිරි පිඬු සකස් කරනවා කියලා. ඒ නිසාම දෙවියනුත් මේ කිරි බතට දිව්‍ය ඕජාව ඇතුල් කරා. මෙසේ සකස් කරගත්තු කිරි පිඬු දානය පිළිගන්වන්න ඒ නුග රුක වෙත ගිය වෙලේ අප මහා බෝධිසත්වයන් ඒ ගස මුල වාඩි වී සිටියා. මෙය දුටු සුජාතා සිටු දියණිය ඔබ ඇත්තටම මෙම නුග රුකෙහි වෙසෙන දෙවියන් දැයි විමසුවා. එවිට අප මහා බෝධිසත්වයන් කිව්වේ නැත මම සත්‍ය සොයා යන තව්සෙක් කියලා. සුජාතා සිටු දියණිය බොහෝම සතුටෙන් ශ්‍රද්ධාවෙන් මේ ප්‍රනීත කිරි පිඬු දානය බෝධිසත්වයන් වෙන පූජා කරන ගමන්, මගේ පාර්ථනාවන් ඉටු වුණා වගේම ඔබගේත් ප්‍රර්ථනා ඉටු වේවායි පැතුවා.

අප මහා බෝධිසත්වයන් දානය පිළි අරගෙන කිරි පිඬු වලින් ගුලි 49 ක් හදලා එක ගුලියක් එක දවසකට ශක්තිය ලැබේවායි අධිෂ්ටාන කරමින් වැළදුවා. එදින බුදු බව ලැබීමෙන් පසුව සත් සතිය අවසන් වෙනකන්ම බුදුන් වහන්සේට ශක්තිය දුන්නේ මේ සුජාතාවගේ කිරි පිඬු දානයයි.

ඉතිං මේ කථාව සිහියේ තබගෙන් බොහෝම ශ්‍රද්දාවෙන් අපි සකස් කරපු කිරි පිඬු දානය ශ්‍රී මහා බෝධියට පූජා කරන්න පෙරහරකින් අරන් ගියා. ඒ යන අතරේදී හැමෝගෙම අතට කිරි පිඬු පාත්‍රය අරගෙන ටික දුරක් අරන් යන්න හැමෝටම අවස්ථාව ලැබුණා. අපි පෙරහරින් පූජාව අරගෙන උඩ මළුවට ගිහින් කිරි පිඬු, පලතුරු, කැවිලි වර්ග වගේම දැහැත් වට්ටියකුත් පූජා කරා.









අපි ඒ මළුවේම වාඩි වෙලා සිල් සමාදන් වුණා. අපිට තවත් පිරිසක් පිරිත් පොත් බෙදුවා. අපි පිරිත් සූත්‍ර කීපයක්ම සජ්ජායනා කරලා දෙවියන්ටත් පින් දීලා උදේ දානය සඳහා පිටත් වෙලා ආවා.

අපි උදේ දානේ වැළදුවේ කුරුන්දන්කුලම පිළිකා රැකවරණ පියසේ ඉදන්. කුරුන්දන්කුලම පිළිකා රැකවරණ පියස කියන්නේ පිළිකා සරණ සංගමය මගින් පවත්වාගෙන යන අසරණ වෙච්ච පිළිකා රෝගීන්ට සරණ වෙන තැනක්. මට මතකයි ගිය පාර අනුරපුර වන්දනාවේදී තමයි මෙතන වැඩ හිදුවලා තියෙන බුද්ධ ප්‍රතිමාව වැඩම්මුවේ. අපි එතන ඉඳගෙනඋදේ දානය වළදලා ආයෙත් බස් රථයට ගොඩ වුණේ අනුරාධපුරයේ තිබෙන පූජනීය තැන් වැඳ පුදා ගන්න.

අපි මුලින්ම ගියේ ජේතවනාරාමයට. අපිව සළපතන මළුවේ පැත්තකට කතා කරගෙන සමාධි වෛද්‍යතුමා අපිට ඒ පුණ්‍ය භුමියේ වැදගත්කම කියල දුන්නා.
ජේතවනාරාමය තමයි ලෝකයේ ලොකුම ස්ථූපය ඒ වගේම ගඩොල් නිරමාණ වලින් ලෝකයේ ගොඩනැගිල්ල තමයි ජේතවනාරාමය. මේ ස්තුපයේ බුදුන් වහන්සේගේ පටි ධාතුව නිදන් කරලා තියෙනවා. ඒ නිසා මෙම ස්ථූපය පාරිභෝගික ස්ථුපයක් වෙනවා. . මෙය සාදවා ඇත්තේ මහසෙන් රජතුමා යි. ඒ දවස් වල මහා විහාරික භික්ශූන් සමඟ තිබුණු කෝන්තරයක් නිසා රුවන්වැලි මහා සෑයට වඩා විශාලව තිබීම සඳහා මේ ස්ථූපය කරවා ඇති බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මෙහි සළපතන මළුව අක්කර 8 ක් පමණ වෙනවා. මෙහි කොත් කැරැල්ල අඩක් නිමවා තියෙන්න හේතුව තමයි මේ කොත් කැරැල්ල සහිත ඉදි කිරීම අවුරුදු 100 කට වඩා පැරණි වීමයි. පුරාවිද්‍යා සංරක්ෂණ මූලධර්ම අනුව නැවත ඉදි කරන්න පුළුවන් මෙපමණයි කියලා තමයි අපේ දොස්තර මහත්තයා කිව්වේ. ප්‍රතිසංස්කරණයේදී ගඩොල් බදින්නඋළු කුඩුත්, මී පැණිත්, දහයියා කුඩුත් භාවිතා කරලා තියෙනවා කියලත් කිව්වා.
ඒ වගේම එතුමා අනුරාධපුර රෝහලේ වැඩ කරන කාලයේ මේ හතරැස් කොටුව සෑදීම සඳහා ස්ථූපය උඩට දෙසිය පාරකට වඩා නැගලා ඇති බවත් ඒ වගේම මේසා විශාල ඉදි කිරීම කරලා තියෙන්නේ මීට අවුරුදු දෙදහස් ගානකට කලින් කියලත් කීප සැරයක් ම මතක් කරලා දුන්නේ හරිම ආඩම්බරයෙන්.




අපි ඊළගට ගියේ අභයගිරි ස්ථූපය ළගට. අපේ දොස්තර මහත්තයා අපිව හෙවනකට රැස් කරලා මේ අභයගිරිය ස්තූපයේ වැදගත්කම කියලා දෙන්න පටන් ගත්තා.








අභයගිරිය ස්ථුපය හැදෙව්වේ වළගම්බා රජතුමා. වළගම්බා රජතුමා දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා වන සද්ධාතිස්ස රජතුමාගේ සිව්වැනි පුත්‍රයා. සද්ධාතිස්ස රජතුමාගෙන් පස්සේ එතුමාගේ පුත්‍රයන් ථූලත්තන, ලජ්ජතිස්ස, ඛල්ලාටනාග පිලිවෙලින් රජ වුණා. ඛල්ලාටනාග ගෙන් පස්සේ වළගම්බා රජතුමා රජ වෙන්න ඕනේ වුනත් “මහා රත්තක ” කියල සෙනවියෙක් රාජ්‍යය පහර ගන්නවා. වළගම්බා කුමාරයා කොහොමහරි මේ සෙනවියාව පන්නලා රජකම ලබා ගන්නවා. හැබැයි ඒ කාලේ සිරිතට අනුව වැඩිමල් සහෝදරයාගේ බිරිඳව සරණ පාවා ගන්න ඕනේ. මේ වළගම්බා රජතුමාට තවත් බිසවකුත් හිටියා සෝමා දේවිය කියලා.

මෙහෙම වැඩි කාලයක් යන්න උනේ නෑ “තීය” කියල බ්‍රාහ්මණයෙක් ආයෙත් රාජ්‍ය පැහැරගන්න ආවා. ඒ එක්කම දෙමළ කුමාරවරු හත් දෙනෙකුත් ආවා රාජ්‍ය බලය අල්ලගන්න. මේ වෙලාවේදී වළගම්බා රජතුමා උපක්‍රමයක් හිතලා තීය බ්‍රාහ්මණයට කිව්වා දෙමළ කුමාරවරු පැරද්දුවොත් මේ රාජ්‍ය නිකන්ම දෙනවා කියලා. මේ තීය බ්‍රාහ්මණය දෙමළ කුමාරවරුන් එක්ක සටනට ගියා. හැබයි මේ බ්‍රාහ්මණය මේ සටනෙන් පැරදුණා. සටනේදී දෙපැත්තේම පිරිස විනාස වෙලා ගිහිං. ඒ වෙලාවේදී වළගම්බා රජතුමාත් යුද්දෙට ගියා. නොසිතූ විදිහට වළගම්බා රජතුමා මේ යුද්දෙන් පැරදුණා. ඉතිං රජතුමා තමන්ගේ බිසෝවරුන් සහ දරුවන් එක්ක කරත්තයක නැගල පලා යනවා. මෙහෙම පැනලා යද්දී ගිරි කියන නිගන්ඨයා ආරයමයෙන් එළියට ඇවිත් “මහා කළු සිංහලයා පළා යනවා” කියලා කෑ ගහන්න පටන් ගත්තා. වළගම්බා රජතුමාට මේක ඇහුණා, ඒ තැනත් මතක තියාගෙන රජතුමා ආරක්ෂා වෙන්න පැනලා යන්න වුණා. මේ වෙලාවේදී කරත්තේ වේගය වැඩි කරන අදහසින් වළගම්බා රජතුමාගේ සෝමා දේවිය කරත්තෙන් බැහැල රජතුමාට පැනල යන්න උදව් කරනවා. මෙහෙම බහිද්දී මේ දේවිය අතේ බුදු හාමුදුරුවන් පාවිච්චි කරපු පාත්‍රය තිබුණු බව සදහන් වෙනවලු. මෙහෙම බැහැල හිටපු දේවිය පස්සෙන් ආපු දෙමළ කුමරයෙක්ගේ ග්‍රහණයට අහු වුණා. මේ කුමාරය රාජ්‍ය අල්ලගන්න ආපු කුමාරවරුන්ගෙන් හත් වෙනි කුමාරයා. මේ කුමාරයා සෝමා දෙවියත් අරගෙන ඉන්දියාවට ගියත් මේ දේවියට කිසිම කරදරයක් නැතුව හොදින් සැලකුවා. මේ විදිහට කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන් වුණේ බුදුන් වහන්සේගේ පාත්‍රයේ අනුහසින් බව විශ්වාස කරනවා.

ඉතින් මේ වළගම්බා රජතුමා සැඟවිලා ඉඳගෙන සේනා සංවිධානය කරලා ආයෙත් සිංහාසනාරූඩ වෙනවා. සැඟවිලා ඉන්න කාලේ රජතුමාට නොසෑහෙන්න උදව් කරපු හාමුදුරු නමක් හිටියා තිස්ස කියලා. කුප්පිකල කියන්නේ පන්නපු කියන එක. මේ භික්ෂුව මහා විහාරයෙන් පන්නපු හාමදුරු කෙනෙක්. ඒ නිසා කුප්පිකල තිස්ස කියල ප්‍රසිද්ධ වුණා. රජතුමා නැවත රජකමට පත් වුනාට පස්සේ අර ගිරි නිගන්ඨයාගේ ආරාමය කඩලා එතන ස්ථූපයක් හදලා මේ කුප්පිකල භික්ෂුවට පූජා කරා. රන් වලින් වෘෂභයෙක් හදලා ඒක ඇතුලේ සර්වඥ ධාතු තැම්පත් කරලා, මේ ස්ථූපය ඇතුලත තැම්පත් කරා. ඒ ස්ථුපයට තමන්ගේ නමෙන් කොටසක් වන “අභය” සහ ගිරි නිගන්ඨයා ගේ නමයි එකතු කරලා “අභයගිරි” කියලා නම තිබ්බා. මේ ආරාම පූජාව ප්‍රථම පෞද්ගලික ආරම පූජාව විදිහට ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. මේ ආරමයේ භික්ෂූන් වහන්සේලා පන්දහසකට වැඩ වාසය කරන්න පුළුවන් කම තිබුණාලු.

අනුරාධපුරය වියළි කලාපයට අයිති වෙන නිසා ස්ථූප වල සළපතන මළුවෙන් එන වතුර අපතේ නොයවා එකතු කරන්න විශාල පොකුණු සළපතන මළුවට ළගින් නිමවා තියෙනවා. ඒ වගේ පොකුණක් ඉතාමත් හොඳින් අභයගිරි ස්ථූපය අසලදී දැකගන්න පුළුවන්කම ලැබුණා. අපි අභයගිරි ස්ථූපය වටේ පැදකුණු කරලා පසඟ පිහිටුවා වැඳලා අනිත් දේවල් බලන්න යන්න පිටත් වුණා.
ඊළගට අපි ගියේ දෙවන සමාධි පිළිමය ළගට.

මේ පිළිමයත් අපි හැමෝම දන්න සමාධි පිළිමයට ගොඩක් සමානයි. විතර්ක මුද්‍රාව සහිත මෙම පිළිමය 6-8 සියවස් වලට අයත් බව පැවසෙනවා. ඉතා විරල, විතර්ක මුද්‍රාව සහ අභය මුද්‍රාව දෙකක් සහිත තවත් පිළිමයක් පන්කුලිය අශෝකාරාමයේ තිබෙන බව අපේ සමාධි වෛද්‍යතුමා මතක් කරා.


අපි ඊළගට ගියේ දාන ශාලාවට. ස්වාමීන්වහන්සේලා පන්දහසකට දානය සපයා දීපු දාන ශාලාව. දොරටුවෙන් ඇතුල් වෙනකොටම බිම ගල් පතුරක ඔරලෝසු සලකුණක් දැක්කා. භාවනා යෝගීව ඉන්න ස්වාමීන්වහන්සේලාට දානය සූදානම් බව කියන්න පොඩි ඝාන්ටරයක් ගහනවා. මේ හඬ ඇහුණාම ස්වාමීන් වහන්සේලා දාන ශාලාවට එනවා. දොරටුව ළගින්ම ඉර අවරට හැරිලද කියලා බලාගෙන අවරට හැරිලා නැත්නම් දාන ශාලාවටත් නැත්නම් නම් ආපසුත් වඩිනවලු. ඇතුලට ගියපු අපිට ලොකු ශෛලමය ඔරුවක් දකින්න ලැබුණා. ඊට එහාට වෙන්න තවත් ඒ වගේම පොඩි ශෛලමය ඔරුවක් දකින්න ලැබුණා. ලොකු ඔරුව බත් ඔරුවත් කුඩා ඔරුව කැඳ ඔරුවත් කියල අපිට හඳුන්වලා දුන්නා. කැණීම් වලදී ලැබුණු පාත්‍රයකින් 5000 වතාවක් වැලි පිරෙව්වම මේ විශාල ඔරුව පිරෙනවලු. අන්න ඒ වගේ සාධක වලින් තමයි මේ ආරාමය තුල භික්ෂුන් පන්දහසක් වැඩ වාසය කරලා තියෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. බත් ඔරුවේ පතුල ඉතා සුමට ආකාරයෙනුත් කැඳ ඔරුවේ පතුල කට්ට වශයෙනුත් නිර්මාණය කරලා තියෙනවා. හේතුව තමයි කැඳ / හොදි වල තියෙන කරපිංචා වගේ දේවල් ඇතුලේ රැඳවෙන්න.



ඒ දවස් වල ඕනෙම කෙනෙක්ට මේ දාන ශාලාවේ බත් ඔරුවට දානය ගෙනත් දාන්නපුළුවන්. දන් බෙදල ඉවර වුණාම ඒ ඔරුවටම අත තියලා ඒ දානය සාංඝික කරනවලු.
මෙතෙන්ට පොඩ්ඩක් එහායින් තියෙන්නේ මුළුතැන් ගෙය. ස්වාමීන්වහන්සේලාට දාන වේලාව දැනුම් දෙන ඝන්ටාරේ ගහද්දී රාජකීය අරක්කැමියා මේ මුළුතැන්ගෙට ඇවිත් ලැබිලා තියෙන දානය මදි නම් මදි පාඩුවට උයන්න පටන් ගන්නවලු. හැබැයි මේ දන් උයන්න එන්නේ රාජ භෝජනත් සූදානම් කරන්න කලින්ලු.



අපේ සමාධි වෛද්‍යතුමා මෙහෙම කතාවකුත් කිව්වා. ඒ කාලේ දන් දීලා තියෙන්නේ එකයි බතයි. මේ කාලේ නේ මේ තියෙන හැම දේම දීලා හාමුදුරුවන්ව ලෙඩ කරන්න හදන්නේ. දැන් අලුත් දෙයක් බෝ වෙලා තියෙනවා, පලතුරු වට්ටියක් හදලා ලස්සන කොලේකින් ඔතලා වට්ටියම පූජා කරන්න. ඔය ඇත්තෝ නම් එහෙම කරන්න යන්න එපා. එහෙම අරන් ගිහින් වළදන්න හාමුදුරුවන්ට කැපත් නෑ. ඒ නිසා තමන්ට හැකි අයුරින් පෝෂදායී දන් වේලක් දෙන්න.


අපි ඊළගට ගියේ ලෝකේ තියෙන මිනිසා විසින් හදපු ලෝකේ ලොකුම පොකුණ ගාවට. ගොඩ බිම ඉන්න ලොකුම සතා තමයි ඇතා. මේ පොකුණේ නමත් ඇත් පොකුණ. ඒ නම තිබ්බේ ඇයි කියලා තේරෙනවා ඇති නේ. යන අතරමගදී සමාධි වෛද්‍යතුමා අපිට මේ ආරාමයේ තිබුණු වැසිකිලි කැසිකිලි පද්ධතිය ගැන විස්තර කරා. පන්දහසක භික්ෂූන් වැඩ සිටපු භූමියේ කොහොමද ඒ දේ වුණේ කියලා. දවසකට 3 පාරක් කැසිකිළි ගියත් පහළොස්දහස් වතාවක්. දුර්ගන්දය පැතිරෙන්නේ නැතුව ඒ රාජකාරිය කරේ කොහොමද. කැසිකිලි වල පොඩි කොටුවක් වගේ( දිග, පළල : අඟල් 6 ) මේකෙන් බින්දුවක් හරි එළියට ගියොත් එහෙම උත්තර බඳින්නත් වෙනවලු. ඉතිං හොඳම ආචාරශීලී බවක් තියෙන්නේ අපේ බුද්ධ ශාසනයේ බවට ඒකත් එක සාක්ෂියක්. ඒ වගේම එළියට යන අපද්‍රවය පෙරණ වලින් හොඳටම පෙරිලා පිරිසිදු ජලය ටිකක් ලු පොලවට යන්නේ. ඒ නිසා පොඩි දුර්ගන්දයක් වත් එන්න ඉඩක් නෑ.



කතාවෙන් කතාවෙන් අපි ඇත් පොකුණ ළගටත් ගියා. මේ පොකුණට ජලය සැපයීම කරලා තියෙන්නේ අභය වැවෙන්, තිසා වැවෙන් සහ පෙරියන්කුලම වැවෙන්. සොරොව් තුනක් පිහිටලා තියෙනවා. මේ වැව් වලින් ජලය ගෙනත් තියෙන්නේ භූගත මාර්ග වලින්. පෙරියන්කුලම උමඟ අදටත් සක්‍රීයයි. මේ සොරොව් තුන දිහා බලාගෙන රජතුමාට මේ වැව් තුනේ ජල මට්ටම කියන්න පුළුවන් කම තිබුණලු. මේ නිර්මාණයත් ඉතින් මීට අවුරුදු දෙදහසකට කලින් තමයි.



අපි ඊළගට ගියේ මම කවදාවත් අහලවත් දැකලවත් තිබුණේ නැති තැනකට. අනුරාධපුර යුගයේ වන්දනා කරපු ශ්‍රී පාද තිබුණු තැන. මේ ගැන ඉතා වටිනා පැහැදිලි කිරීමක් අපේ සමාධි වෛද්‍යතුමා කරා. මම කියනවට වැඩිය ඒ කටහඬින්ම අහන බලන එක හොඳයි කියල හිතුණා.


අපි ආයෙත් ලොකු දොරටුවකින් ඇතුල් වුණා. ලොකු කණු කීපයක්ම තියෙන මණ්ඩප්පයක් තිබුණා මැදට වෙන්න. ඒ අපි හැමෝම දන්නා ලෝකප්‍රකට මුරගල තියෙන රත්න ප්‍රසාදය.


අනුරාධපුරය යුගයේදී බුදු දහම දේශනා කරන්න භාවිතා කරපු ධර්ම ශාලාව හා උපෝසථාගාරය තමයි රත්න ප්‍රාසාදය. විශාල දොරටු හතරකින් සහ මහල් හතකින් සමන්විත වූ මෙහි වහලට රන් පත් සෙවිලි කරලා තිබුණලු.. දොරටු පාල රුව, පෙන හතක් සහිත නාග රූපයක්, මකරු හතර දෙනෙක්, බහිරව රූපය සහ පුන් කලස මෙහි ප්‍රධාන අංගයන්. අතීතයේ මේ මුර ගල වෙනුවට කැටයම් රහිත සාමාන්‍ය ගලක් ද, ටිකක් විකාශනය වෙද්දී පුන්කලසක්ද, පසුව බහිරව රූප, නාග රූප වශයෙන් භාවිතා වුණා.

මේ සියළු අංගයන්ගෙන් පරිපූර්ණ මෙම මුරගල, මුරගලෙහි විකාශනය පෙන්වන ඉතාම විශිෂ්ට කලා නිර්මාණයක්. මෙහි ඉහල දෙපසට වන්න ගැහැණු කෙනෙක් සහ පිරිමි රුවක් මකර කට දෙකකට මැදිව දක්නට ඇත. මෙම පූජනීය භූමියක් නිසා මෙහි අඹු සැමියන් ලෙස හැසිරුණහොත් මකර කටට යන බව එයින් අදහස් වේ.

අපි ආයෙත් එතනින් බස් එකට ගොඩ වෙලා ලංකාරාමයට ළගා වුණා. වළගම්බා රජතුමා කරත්තයෙන් රජ පවුල සමඟ පැනලා යද්දී සෝමා දේවිය කරත්තෙන් බැහැපු තැන හදපු ස්ථූපය තමයි ලංකාරාමය. බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු තැම්පත් කර ඇත. අපි පැදකුණු කරලා පසඟ පිහිටුවා වැඳලා මිරිසවැටිය බලා පිටත් වුණා.



දුටුගැමුණු රජතුමා එළාර රජතුමා එක්ක සටනට යද්දී අරන් ගියපු සර්වඥ ධාතු සහිත ජය කොන්තය නිදන් කරලා තමයි මිරිසවැටි ස්ථූපය හදලා තියෙන්නේ. ඒ වගේම රජතුමාට එක දවසක් භික්ෂුන් වහන්සේලාට නොදී මිරිස් වෑන්ජනයක් වැළදුව නිසා මේ ස්ථූපයට මිරිසවැටිය කියලා නම තියපු බවට මතයක් තියෙනවා.
මේකේ තවත් වැඩි විස්තර තියෙනවා.






මිරිසවැටියට දණ්ඩ නමස්කාරයෙන් නමස්කාර කරපු අපි ආයෙත් කුරුන්දන්කුලම පිළිකා සරණ මද්‍යස්ථානයට ගිහින් දහවල් දානය ලබාගත්තා. අපේ වැඩ පිළිවෙල තිව්නේ හවස ථූපාරාමය ළග බෙහෙත් ඖෂධ පූජාව පවත්වන්න. ඒත් අයහපත් කාලගුණික තත්වය නිසා කුරුන්දන්කුලමෙදිම ඖෂධ පූජාව පවත්වන්න තීරණය කරා.
ඖෂධ පූජාව කියන්නේ බුදු හාමුදුරුවන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නිමිති කරගෙන ඖෂධ වර්ග තිස් දෙකක් යොදාගෙන සකස් කරගන්න ගිලන්පස සියළුම පිළිකා රෝගීන්ගේ හා අනෙකුත් රෝගීන්ගේ සුවය පතා බුදු හාමුදුරුවන්ට පූජා කිරීමයි. මෙහිදී ඒ ඒ මහා පුරිස ලක්ෂණය ලබන්න බෝධිසත්වයන් කරපු කුසල් සජ්ජායනා කරමින් ඒ කුසල් අපේ ජීවිතයට ළගා කරගන්න උත්සාහයක් ද තියෙනවා.

අපි හැමෝම බුදු ගෙයි වටේට වාඩි වෙලා බෝජ්ජංග පිරිත් සජ්ජායනා කරන්න පටන් ගත්තා. ඒ අතරදී මාරුවෙන් මාරුවට හැමෝම ඖෂධ ගිලන්පස සකස් කරන්න දායක වුණා. පිරිත් සජ්ජායනයෙන් පස්සේ අපි හැමෝම ඉතිපිසෝ ගාථාව කියමින් පිළියෙළ කරපු ඖෂධ පාත්‍ර වලට බෙදුවා. පසුව දෙතිස් මහා පුරිස ලක්ෂණ හා ගුණ සජ්ජායනා කරමින් හැමෝටම අත ගැස්සවූ ඖෂධ ගිලන්පස සහිත පාත්‍ර බුදුන් වහන්සේට පූජා කරා.












වන්දනා ගාථා කියලා වන්දනා කරලා සමාධි වෛද්‍යතුමා අපි මේ කරගත්තා වූ සියළුම පින් මතක් කරලා පුණ්‍යානුමෝදනාවක් කරා. ඒ වගේම ලොකුගේ මහතාත් පියසේන මහතාත් ඉතාමත් ගෞරවයෙන් සමාධි වෛද්‍යතුමාටත් එතුමාගේ මවට පියාටත් පින් අනුමෝදන් කරා. පියසේන මහතා ඒ වෙලාවේ සඳහන් කරා සමාධි වෛද්‍යතුමා අපේ වන්දනාව වෙනුවෙන් රුපියල් 45000 ක මුදලක් පරිත්‍යාග කල බව. ඉතින් ඒ පිනටත් අපි සාධු කාර දෙමින් පින් අනුමෝදන් කරලා ආපසු ගාල්ල බලා පිටත් වුණා. බස් එකේ හිටපු හැමෝගෙම මුහුණු සතුටෙන් පිරිලා ඉතිරිලා ගිහින්. යනකොටත් එනකොටත් හැමෝම එක විදිහට හැමෝටම උදව් කරගත්තා. වෙන වෙනම ආවට යද්දී හැමෝම එක පවුලක් වෙලා. බොහෝම සතුටින්.

ඒ වගේම කියන්න ඕනේ මට මේ වන්දනාවට සහභාගී වෙන්න වචනයකින් හරි උදව් කරපු කිසියම් කෙනෙක් ඇද්ද, ඒ වගේම මේ වන්දනාවේදී යහපත් වචනයෙන් සංග්‍රහ කරපු, අඩු පාඩු සොයා බලපු සියළුම දෙනාට, කිසිම අඩු පාඩුවක් නැතුව ඉතාමත් අනර්ඝව මෙම වන්දනාව සංවිධානය කරපු සමාධි වෛද්‍යතුමා ඇතුළු පිළිකා සරණ සංගමයේ සියළු දෙනාට, ඒ වගේම අපේ රියදුරු මහතා හා කොන්දොස්තර මහතාටත් (අනේ කිසිම ඝෝරනාඩුවක් නැතුව කියන කියන තැනට යනවා. බොහෝම පරිස්සමෙන් සැලකිල්ලෙන් රිය පැදෙව්වේ. ඒ වගේම දානය සපයන්නත් බොහොම උදව් කරා), මේ ලිපිය කියවන ඔබටත් මා කළා වූ කිසියම් පිනක් වේ නම් එය ඒකාකාරයෙන්ම අනුමෝදන් වේවා. මේ ආත්මයේදීම නිවන් අවබෝධය පිණිස හේතු වේවා !
සාධු.. සාධු.. සාධු..!

මේ පහලින් තියෙන්නේ අනුරපුර වන්දනා -2012 ඡායරූප ටිකක්.































පිළිකා සරණ සංගමයට හා එහි සාමාජික සාමාජිකාවන්ට තවත් මෙවැනි පින්කම් රැසක් කරගැනීමට ශක්තිය හා ධෛර්යය පාර්ථනා කරමි.


වැරදීමක් අතපසු වීමක් සිදු වී ඇත්නම් සමාවෙන්න මතක විදිහටයි ලිව්වේ.