Wednesday, September 23, 2015

විරු අභිනන්දන -2014

අපේ කල්පිට පුදුම උණක් තිබුණනේ හමුදාවට යන්න. ඒ දවස් වල photo එකතු කරනවා කවි ලියනවා වැඩ ගොඩයි. ළග පාතකින් army බස් එකක් ගියත් ඉවරයි. කොහොම හරි යුද්ධෙත් ඉවර වෙලා කාලයක් ගත වෙලා තිව්න නිසා කාටත් හමුදාවේ අය ගැන අමතක වෙලා වගේ ගිහින්. ඉතින් අපි මුලින්ම කරේ අපි ඉගෙන ගත්තු ඉස්කෝලෙට කළගුණ සැලකීමනේ. ඊට පස්සේ අසරණ ලෙඩ වෙලා ඉන්න අය වෙනුවෙන් දෙයක් කරා. අපිට හිතුනා ඊ ලගට කරන්න ඕනේ හොදම වැඩේ රට වෙනුවෙන්, අපි වෙනුවෙන් ජීවිතේම කැප කරපු අපේ හමුදාවේ අය වෙනුවෙන් මොනවා හරි අපිට පුළුවන් දෙයක් කියලා.

ඉතින් මෙහෙම හිතල කට්ටියගේ අදහස් ඇහුවා මේ ගැන. කට්ටියම කැමති වුන නිසා හොයලා බැලුවා ලෙඩ වෙලා ඉන්න රණවිරුවෝ ඉන්න තැනක්. අපිට ඒකට උදව් කරේ කුමුදු අක්කා. එයා දන්න කෙනෙක්ගෙන් රාගම රණවිරු සෙවනේ දුරකථන අංකය අරගෙන කතා කරලා අහල තිබුණා අපිට ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. ඊට පස්සේ අපේ රසාලිත් කතා කරලා වැඩි විස්තර ඇහුවා. එයාල ගොඩක්ම කිව්වේ අපිට නිකංම පරිත්‍යාග භාර දීලා යනවට වඩා එයාලාගේ පාළුව යන්න පොඩි සංග්‍රහයක් එක්ක වැඩසටහනක් කරලා සින්දු එහෙම කියලා එයාලත් එක්ක කතා කරලා යන්න පුළුවන් නම් ගොඩක් හොදයි කියලා.

ඉතින් අපේ ඉස්කෝලේ අපේ batch එකේ අනිත් අයත් එක්ක කතා කරහම එයාලත් කැමති උනා. ඒත් අපිට වැඩසටහන සංවිධානය කරන්න පුළුවන් උනාට වැඩසටහන මෙහෙයවන්න පුහුණු වෙන්නවත් කාලයක් නැති එක ලොකු ප්‍රශ්නයක් උනා. හැමෝම ඉතින් රැකියා කරන්නේ විවිධ තැන්වල නිසා කාටවත් කලින් දවසක් දාගෙන එකතු වෙන්න පුළුවන් කමක් තිබුනේ නෑ. අපිට යන්න වෙන්නේ ගොඩක් අයට නිවාඩු තියෙන සති අන්තයක දවසක. ඒ නිසා අපි ඉරිදා දවස තෝර ගත්තා. ඒත් එදාට රණවිරු සෙවනේ වාදක කණ්ඩායම අපිට ලබාගන්න උනේ නැහැ. ඉතින් අපිට වාදකයෙකුත් ගෙනියන්න සිද්ද උනා. එයාව හොයාගන්න උදව් කරේ අපේ office එකේ රොහාන් අයියා. අපේ කැම්පස් එකේ නදීර සහ නිශාදිටත් හොදට සින්දු කියන්න පුළුවන් නිසා ඒ දෙන්නත් වැඩේට එකතු කරගත්තා. ඒ අතරේ අපි Facebook එක හරහා අපේ batch එකේ අනිත් අයව දැනුවත් කරා මේ ගැන කියලා. අපේ යහනි වෙනදා වගේම හොඳ නමක් දැම්මා “විරු අභිනන්දන” කියලා.







කලනි සහ යහනිට වැඩසටහන මෙහෙයවන නිවේදක කටයුතු භාර දුන්නා. නදීරට සිංදු හොයන වැඩ භාර දුන්නා. ඒ අතරේ අපි පරිත්‍යාග ටිකයි, සංග්‍රහ වැඩ ටිකයි කරගෙන ගියා. අපේ ඉස්කෝලෙන් ඉගෙන ගෙන දැන් පිටරට උසස් අධ්‍යාපනය හදාරන නිහාරි, මහේෂි, රුවන්දිමා අපිට මුදලින් ගොඩක් ආධාර කරා.
අපි පරිත්‍යාග වලට දෙන්න සකස් කරේ සුදු ඇඳ රෙදි. අපිට සුදු ඇඳ රෙදි 100 ක් ගන්න පුළුවන් උනා ඒ වෙනකොට එකතු වෙලා තිබුණු සල්ලි වලින්. අපි ඒවා ගත්තු කඩෙන් ලොකු පෙට්ටි දෙකකට දාලා ත්‍රී වීල් එකටම ගෙනත් දුන්නා දෙන්නෙක්. ඒත් ත්‍රී වීල් එකෙන් ඒවා අරගෙන දුන්නේ ත්‍රී වීල් එකේ ආපු driver මාමා. ඒ පෙට්ටි උස්සන්න ගිහින් වැටෙන්නත් ගියා ඒ මාමා. ඉතින් ඒ මාමාටත් ගොඩක් ස්තූති කරා අපි අපේ කිසිම ඉල්ලීමක් නැතුව අපිට උදව් කරාට.

එදාට ඒ අයට සංග්‍රහ කරන්නත් අපේ අය ගොඩක් කැමැත්තෙන් එක එක ඒවා භාර ගත්තා. සමහරු මහන්සි වෙලා තමන්ගේ අතින්ම හදපු කෑම ගාල්ලේ ඉදන්ම අරන් ආවා.
ඉතින් ඔන්න කට්ටියම බලාගෙන හිටපු දවස ආවා. අපි කොළඹ ඉදන් යන අය වාහනයක් කතා කරගත්තා රාගමට යන්න. ගාල්ලේ ඉදන් එන අයයි, නදීරයි, නිශාදියි එතනටම ආවා. අපේ කැම්පස් එකේ රුසිරුත් කොහොම හරි කතා කරගත්තා. කලනිත් ගුවන් සේවිකාවක් උනත් එදාට සහභාගී වෙන්න ලංකාවේ හිටියා හොඳ වෙලාවට. අපේ office එකේ අමල් අයියයි දිනුෂි අක්කයිත් එතනටම එනවා කිව්වා.

කට්ටියම ආවට පස්සේ වැඩේ පටන් ගත්තා. අපි ආවට ස්තූති කරලා අපිව පිළිගත්තේ එතන භාරව ඉන්න ජනරාල්තුමා.ඊට පස්සේ නදීර මුලින්ම අම්මා ගැන සින්දුවක් කියලා හොද ආරම්භයක් ගත්තා.කලින් පුහුණු නොවුනත් යහනියි කලනියි නිවේදක කටයුතූ හොදින් කරගෙන ගියා. රණවිරුවොත් එක්ක එයාලගේ අත්දැකීම් කතා කර කර එයාලගේ ගීත ඉල්ලීම්නුත් ඉටු කරලා එයාලටත් සින්දු කියන්න අවස්ථාව දුන්නා. අතරින් පතර අඩු පාඩුත් නොවුන නෙවෙයි. ඒත් අපි හැමදෙයින්ම අපේ රණවිරුවෝ සතුටු කරන්න ගොඩක් මහන්සි ගත්තා අපිට පුළුවන් තරමින්. වේදිකාවේ ඉදන් සින්දු කියන්න ගීත ඉල්ලීම් දෙන්න නදීර, නිශාදි, ගයන්ති, චරිතා, උපේක්ෂ්‍යා සහ අපේ වාදකයා මහන්සි ගත්තා.



















ඒ වගේම ඒ අයට ගී පද හොයලා දුන්නේ ඉසුරියි රුසිරුයි. අමල් අයියයි, අමිතමල් අයියයි තමයි අපේ වැඩසටහනේ ඔක්කොම photos ගත්තේ.














රෝද පුටු වල හිටපු අයියල දෙන්නෙක් එක සිංදුවකට නැටුවා එයාලගේ රෝද පුටු වලම ඉදන්. එයාලගේ කකුල් නැති උනත් හිතේ දහිරියෙන් නටන හැටි දැකලා අපි හැමෝගෙම ඇස් වල කදුළු පිරුණා. ඒ අයගේ දස්කම් බලන්න අපි මෙතනට ආපු එකම කොච්චර ලොකු දෙයක් දෝ කියලා අපි හැමෝටම හිතුනා.




මේ හැමදේම වෙන අතරේ පියුම්නිලා සංග්‍රහ කටයුතු හොයලා බැලුවා.








අන්තිමට අපි ආධාරත් භාර දීලා අපි ඔක්කොම වේදිකාව උඩට ගිහින් කණ්ඩායම් ගීතයකුත් කිව්වා. අපි හැමෝටම හරිම සතුටුයි අපිට මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුනු එක ගැන.




වැඩසටහන ඉවර වෙලා යන්න ලේස්ති වෙනකොට අපි හැමෝටම ඒ අය අතට අත දීලා බොහොම ස්තුති කරා එයාලා බලන්න ආවට. ඒ වෙලාවේදී මම අතට අත දෙන්න ගියපු කෙනෙක් ගේ දකුණු අත තිබුනේ නෑ. තිබුනේ පොඩි කෑල්ලක් විතරයි. මම පත්වෙච්ච අපහසුතාවය දැකපු ඒ අයිය කියනවා “ඔහොම තමයි නේද ජීවිතේ” කියලා. ඇස් වලට ආපු කදුළු හංගන්න පුළුවන් කමක් උනෙත් නෑ. ඒත් ඒ අය ඉස්සරහ අඩන්නත් බෑ. බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා. අපි වෙනුවෙන් රට වෙනුවෙන් සටන් කරලා අපිට නිදහසේ එහා මෙහා යන්න ඉඩ හදල දීපු මිනිසුන්ට අද අත පය වත් නෑ නේද කියලා අපිට හිතුනා ඒ අය දැක්කම.






සංගීත වැඩසටහන ඉවර කරලා අපි ගියේ එතනට එන්න බැරුව ඇඳ උඩටම වෙලා ඉන්න රණවිරුවෝ බලන්න. ඒ අය දැක්කම ඇති වෙච්ච හැගීම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. දුක, ගෞරවය ඒ වගේම. යන්න එන්න බැරුව, ඇවිද ගන්න බැරුව මුළු ජීවිතේම ඇඳක් උඩට වෙලා ඉන්න වෙලා තියෙන්නේ අපිට නිදහසේ ජීවත් වෙලා ඉන්න රටක් ඉතුරු කරලා දෙන්න ගියපු නිසා නේද කියලා ලොකු ණය බරක් හිතට දැනුනා. අපි ඒ අයත් එක්ක විස්තර කතා කරා. ගොඩක් අයගේ ගෙවල් වලින් එන්නේ මාසෙකට සැරයක් වගේ කිව්වා. මේ අයට ඉතින් ගෙදර යන්නත් බෑ නෙ. ඉතින් ගොඩක් පාලුවෙන් තමයි ඉන්නවා ඇත්තේ. අපිට මෙහෙම හරි දවසක් එන්න පුළුවන් වුනු එක ගැන අපේ හැමෝම සතුටෙන් කතා කරා.


ඉතින් මෙන්න මේ විදිහට අපි එකතු කරගත්තු ලක්ෂෙකට විතර ආසන්න මුදලෙන් මේ වගේ දෙයක් කරලා එයාලටත් හිනාවක් දීලා ඒ හිනාවෙන් අපිටත් සතුටක් ලබන්න පුළුවන් වුණා. දැනුත් ඒ ගැන හිතනකොට ගොඩක් ආඩම්බරයි අපේ යාළුවෝ ගැන. මොකද අපි විතරක් කාල බීල හිනා වෙලා නටල ඉන්නවට වඩා තවත් කෙනෙක්ටත් හිනාවක් දෙන්න හදන ඒ වගේ අය අඩුයි අද. ඉතින් මගෙත් පරණ පිනකට ලැබිල ඉන්න යාළුවෝ ටිකත් එක්ක ඊළග පාර කරන දේගැන හිත හිත අපි එදා කෝච්චියෙන් ආපහු කොළඹ ආවා.

වෙනදා විදිහටම මේ වැඩේටත් එන්න පුළුවන් උනේ ටික දෙනාටයි. ඒත් අපිට උදව් කරපු අය බොහොමයි. ඒ හැමෝටම අපි කරගත්තු සියලුම පිං අනුමෝදන් වේවා. ඉදිරියටත් මෙවන් වැඩ කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා හද පතුලෙන්ම පාර්ථනා කරනවා..






















2 comments:

  1. that was an unforgettable experience. and I am so happy I could participate in such an occasion. we are so busy working to satisfy our long list of variety of needs, that we forget that there are others who have even sacrificed their lives resulting us to be alive. on that day we were able to draw a smile on their faces, which I think, made the whole event precious and successful.

    ReplyDelete
    Replies
    1. yeah.. Thanks for participating and helping us dear..

      Delete