Sunday, January 31, 2016

මුදලින් මැනිය නොහැකි මිනිසත් බව



දවසක් ඔන්න මම මගේ සුපුරුදු බෑග් එකත් උස්සගෙන ගමනක් යනවා. මගේ බෑග් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බරම බරයි. හැමදාම ඒක එහෙමයි (දන්නෝ දනිති). ඔන්න මම බස් එකකට ගොඩ උනා. එතකොට වෙලාව උදේ 8 ට විතර ඇති. කට කපලා සෙනඟ. මට බස් එකේ foot board එකෙන් උඩට නැග ගන්න විතරයි පුළුවන්. මගේ බෑග් එක කරෙන් පහලට අරගෙන උස්සගත්තා මම. එක අතකින් කණුවක් අල්ලාගෙන අනිත් අතෙන් බෑග් එක එල්ලගත්තා. මගේ අත්දැකීම් වල විදිහට බස් වල වාඩි වෙලා ඉන්න, clean suits ගහල make up දාල, සුවඳ ගහ ගහ වැඩට යන අය නම් ගොඩක් අඩුවෙන් තමයි බර බෑග් එකක් අතට ගන්නේ. මම ඉතින් තත්වේ දන්නා නිසා කාටවත් දෙන්න ගියෙත් නෑ. දෙන්න ඉඩක් තිව්නෙත් නෑ. උඩට උස්සල දෙන්න ගිය නම් 90% ක් විතර ශක්තිය වැය වෙලා කලන්තේ දාලත් වැටෙන්න තිව්නා. කොන්දොස්තර අයියා මම අමාරුවෙන් උස්සන් ඉන්න බෑග් එක දැක්කා. එයා foot board එකේ හිටියේ. දැක්ක ගමන් එයාගේ කකුල උඩට මගේ බෑග් එකේ බර එන විදිහට කකුල තියාගත්තා. මම උඩින් එල්ල ගෙන, ඒත් එයාගේ කකුල උඩ තමයි මගේ බෑග් එකේ සංපූර්ණ බර. මට පුදුමයි. අනේ අර බස් එකේ වාඩි වෙලා යන කව්රුත් බෑග් ගන්නේ නෑ. ඒත් අර මනුස්සයා ඒ වෙලාවේ හැටියට මට කරේ කියන්න බැරි තරම් උදව්වක්. මට හිතුනේ දුක විදලා තියෙන මනුස්සයා ට විතරයි අනිත් මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ කියලා. දුක් විදින මිනිහා විතරයි දන්නේ අනිත් මිනිහගේ දුක. තත්වය යි , රස්සාවයි මිනිස්සුන්ගේ මනුස්සකම නැති කරනවාදෝ කියලත් මට වෙලාවකට හිතෙනවා.

පාරේ ඉන්න දුප්පත් මනුස්සයෙක් හදිසියෙවත් වැටුනොත් කවදාවත් වැදගත් විදිහට ඇඳන් ඉන්න මහත්තයෙක් කවදාවත් නැවතිලා උස්සන්න යන්නේ නෑ. ඒ උස්සන්න බැරි කම නිසා නෙවෙයි තත්වෙට හරි නැති නිසා. ඒත් අසරණ මනුස්සයෙක්ට උදව් කරන්න බැරි තත්වයෙන් ඇති වැඩේ මොකද්ද?? ඒ උගත්කමෙන් ඇති වැඩේ මොකද්ද. අපිට උගන්නන්න ඒ මනුස්සයා බීපු තේ කෝප්පෙනුත් කීයක් හරි දායක වෙන්න ඇති කියලා අමතක වෙන තත්වෙන් ඇති ඵලේ මොකද්ද?? පාර පනින්න ගියාම සුපිරි කාර් නවත්තලා පාර පනින්න ඉඩ දෙන්නේ බොහොම අඩුවෙන්. එත් මගේ අත්දැකීමේ හැටියට ත්‍රීරෝද රථ නම් ඕනේ වෙලාවක ඉඩ දෙනවා. ඒ වාහනේ පොඩි නිසාද ඒ මනුස්සයාගේ හිත හොඳ කම නිසාද කියලා මම දන්නේ නෑ.

තවත් දවසක් මම උදේ පාන්දර ගෙදර යන දවසක මට නිකන් වමනේ යන්න වගේ. කෝකටත් කියල සිලිං බෑග් එකක් ගන්න කියල රුපියල් පහකුත් අතේ තියන් පිටකොටුවේ ඇපල් කඩේකට ගියා. එත් අවුරුදු 35 ක වගේ මනුස්සයෙක්. අනේ සිලිං බෑග් දෙකක් දීලා සල්ලි ගත්තෙත් නැහැ. මම ඉතින් ස්තුති කරලා බස් එකට නැග්ගා. මම වෙන ලොකු කඩේකට ගියා නම් මොකද්ද වෙන්නේ කියල මම හොදටම දන්නවා. Clean suits ඇඳපු, ලාච්චුව පිරින්න සල්ලි තියෙන කඩවල් වල මුදලාලිලාට වඩා වැදගත්කමක් මම ඒ මුදලාලිගෙන් දැක්කා. Clean suits ඇඳපු හැමෝම මෙහෙමයි කියනවා නෙවෙයි. ගොඩක් අය පොළවේ පය ගහල ඉන්න අය නෙවයි. ගොඩක් අය ඇවිත් තියෙන්නේත් පහලම තැනක ඉදලයි. ඒත් පුප්පන ගතිය, මාන්නේ, සහ පොළවෙන් උඩ ඉන්න ගතිය ලොකුයි කියන රැකියාවත් එක්ක වෙන දෙයක්ද, සමාජේ වැරද්දක්ද, සිතුවිලි වල වරදක්ද, ඉගෙන ගෙන තියෙන විදිහේ වැරද්දක්ද, එහෙම නැත්නම් වෙන දෙයක්ද කියලත් මම නම් දන්නේ නෑ. මම ගාවත් ගොඩක් වැරදි ඇති. ඒත් මම ගොඩාක් අයට උදව් කරනවා හොඳ හිතින් කියල මම දන්නවා.

මේක මම අහපු ලංකාවේ වෙච්ච ඇත්ත කතාවක්.
ස්කොලේ යන කාලේ නාහෙට අහන්නේ නැති මහා ඇට්ටර ළමයෙක් හිටිය සිරිසේන කියලා. සිරිසේන ට වැඩිය ඉගෙන ගන්නත් බැහැ. ඉතින් ස්කොලේ ගුරුවරුනුත් මේ ළමයට කැමති නැති නිසා හරියට එක එක ඒවා කියනවා. එත් එකම එක මිස් කෙනෙක් විතරක් මේ සිරිසේන ට ආදරෙයි. පුතේ කියල කතා කරනවා. කවදාවත් බනින්නේ නැහැ. ආදරෙන් සලකනවා. දැක්ක තැන කතා කරනවා. ඉතින් මෙහෙම ස්කෝලේ ගිහින් ඉවර උනාට පස්සේ මේ සිරිසේන ත්‍රීවීල් එකක් අරන් ඉතින් හයර් යනවා. ඒකෙන් එදා වේල හම්බ කරන් හිටිය. ටික දවසකින් මෙයාගේ ස්කොලේ යාළුවොන්ට ආරංචි වෙලා මෙයා ඒ ත්‍රීවීල් එකත් විකුණලා කියල. ඉතින් යාළුවොත් දුක් වෙලා හරියට ඉගෙන ගන්න බැරි උන නිසා පාලනයක් නෑ කියල. එත් දවසක් එක යාළුවෙක් ට මේ සිරිසේන මුණ ගැහිලා විස්තර අහල. දැන් මොකද කරන්නේ ඒවා මේවා. එතකොට මේ සිරිසේන කියල තියෙනවා “උඹට මතකද අර මට හරිම ආදරේ මිස් කෙනෙක් හිටියා, එයාගේ වකුගඩු දෙකම නරක් වෙලා සනීප නැතුව හිටියා. එයාට වකුගඩුවක් අරන් දෙන්න මම මගේ ත්‍රීවීල් එක වික්ක බන්. මොනවා උනත් මට පුතේ කියල හරි ඒ දවස් වල කතා කරන්න හිටියේ ඒ මනුස්සයා විතරයි ” කියලා. ඉතිං‍ අර යාළුවටත් මොනවා කියන්නද කියල හිතාගන්න බැරි වෙලා. එයාල ඉගෙන ගත්තට සිරිසේන ගාව තිබුන මනුස්සකම ඉගෙන ගන්න අමතක වෙලා කියල එයාට හිතුනලු.




No comments:

Post a Comment