Sunday, December 30, 2018

දිය ඇලි දඩයමේ බලන්ගොඩ සවාරිය

මේ පාර ගියේ බලන්ගොඩ තියෙන දිය ඇලි බලන්න. දූවිලි ඇල්ල, පහන් තුඩාව, බඹර කන්ද සහ ලංකා ඇල්ල බලන්න. ඔක්කොම විස්තර ඇතුව ලියන්න බැරි වුණත් පුළුවන් විදිහට ලිව්වා.




මගේ බෝඩිමට බලන්ගොඩ යාළුවෙක් ආවා විතරයි මගේ කටේම තිබ්බේ trip එකක් එක්කන් යන්න, එක්කන් යන්න කියල. කොහොම හරි එයාගේ අකමැත්තෙන් වුණත් අපි ලේස්ති වුණා එහේ යන්න. අපි කිව්වේ ඉතින් ඒ ගමනටත් සුපුරුදු විදිහට පියුමි අක්කත් එකතු වුණා.

අපි 3 දෙනා නුගේගොඩින් පිටත් වුණේ, 5 ට වගේ. අපි යද්දි ගියේ හොරණ, ඉංගිරිය හරහා රත්නපුර පාරෙන්. ඒ පාරේ ගොඩක් වංගු තිබුණට, අවිස්සාවේල්ල පැත්තෙන් යනවට වඩා ළගයි කියල හිතුණ නිසා ඒ පාරෙන් යන්න හිතුවා. කොහොම හරි පියුමි අක්ක map එක දාගෙන. අනිත් එකා බලන්ගොඩ පදිංචිය. ඒ නිසා යන පාර ගැන බය වෙන්න දෙයක් නැති නිසා මම එච්චර බෝඩ්ස් බලන්න ගියේ නැහැ. ඉංගිරියේදී පාර, වමටයි දකුණටයි බෙදෙනවා. ඉතින් මං ඇහුවා අක්කේ දකුණටද වමටද? දකුණට දකුණට කිව්වා. ඉතින් මාත් හැරෙව්වා දකුණට. ටික වෙලාවක් යද්දී අපේ බලන්ගොඩ පදිංචි අමිලා කියනවා, "මට මේ විදිහට පල්ලම් තියෙනව මතක නෑ නේ හලෝ" කියලා. ඔන්න එතකොට පියුමි අක්ක ආයේ map එක බැලුවා. ඔන්න එතකොට තමයි දෙලොව රත් වුණේ එයාගේ. හා හා පුරා කියලා බලංගොඩට කෙසේ වෙතත් අපි ආයෙත් පානදුරට යන ගමන්.. හම්මේ ඉතින් මට... ආයේ හරවගෙන ඉංගිරිය පැත්තට ආව. ඒ වෙද්දී 5 km වගේ ඇවිත් තිබ්බ. කොහොම හරි ඉතින් අපි ආයේ හරි පාරට ඒ කිව්වේ රත්නපුර පැත්තට හැරෙව්වා.







හිතුව වගේම වංගු වංගු ගොඩක් තිබුණා. ඒත් ගානක් වුණේ නෑ වැඩිය. අපි කිරිඇල්ල හරියෙදි පාලමක් එක්ක පන්සලක් තියෙන හරියකින් වාහනේ නවත්තලා උදේට හදන් ගියපු noodles කෑවා.
ආයේ ටික දුරක් යද්දී ලස්සන රබර් වත්තක් හම්බුණා. අපි එතන ලස්සන බලන්න ටිකක් නැවතුනා. පොඩ්ඩක් දුර ඇවිදන් ගිහින් photo shoot එකකුත් කරා. විනාඩි 20 ක් විතර එතන හිටපු අපි ආයෙත් ගමන පටන් ගත්තා.

පැල්මඩුල්ල හරියේ PNS එකක් තියෙනවා කියලා පාර දිගට බෝඩ් ගහලා. ඉතින් හොඳ නෑ නේ එච්චර කියල තියෙන එකේ නොගිහින් ඉන්න එක. ඔන්න ඔහේ අපි ගිහින් Nescafe බිව්වා.



අපි මුලින්ම යන්න කියල හිතුවේ දූවිලි ඇල්ල බලන්න. ඉතින් එහෙට ගියාම කන්න දේවල් නැති නිසා අපි Short eats කීපයක් අරන් මල්ලකට දාගත්තා. ඒ අතරෙ අපේ නයෝමි අක්ක කතා කරලා යන්න තැන් ලිස්ට් එකක් කිව්වා පාරවල් එක්කම. දූවිලි ඇල්ල බලලා එතනින් සමනල වැවට යන්න කෙටිම පාරවල් ටිකත් කිව්වා. කෙටිම පාර තමයි දූවිලි ඇල්ලෙන් පහලට පැනලා වලවේ ගඟ දිගේ යන එක.

අපි ආයෙත් ඇල්ලේපොළ හරියෙදි දොළ පාරක් දැකල නැවතිලා එතනත් photo shoot එකක් කරා. ඔහොම ඉතින් මග නැවතී නැවතී හෙමින් හෙමින් අපි උදේ 10 වගේ වෙද්දී බලංගොඩට ගියා.




එහේදී පියුමි අක්කගෙයි අමිලගෙයි දෙන්නගෙම යාළුවෙක් වෙන දුමිඳු අපේ guide වැඩේට ආවා. කලින් එහෙම දෙයක් හිතුණේ නැතත් පස්සේ ඒ තනතුර ඉබේම  එයාටම හිමි වුණා. එයා හිටියේ නැත්නම් පහළ ලියන්න දේවල් නැති වෙනවා. මොකද එහෙනම් යන්න වෙන්නේ නැති නිසා.

 ඉතින් අපි දුමිදුවත් බලන්ගොඩින් දාගෙන, දුවිලි ඇල්ල බලන්න ගියා. ඒ පාර නම් ටිකක් හොඳ නැහැ. කාපට් දාල නැහැ. ඒත් අවුලක් වුණේ නැහැ. ඒත් දූවිලි ඇල්ල කිට්ටුවට යද්දී කඳු පල්ලම් ගොඩයි. මට නම් බයත් හිතුණා ඒ ටිකේ drive කරන්න. කොහොම කොහොම හරි දූවිලි ඇල්ල ළගට ගියා. එතන හොඳට වාහන නවත්තන්න පුළුවන් ඉඩකඩ ගොඩක් තියෙන Car park එකක් තියෙනවා. එතෙන්ට ගිහිල්ල ඇල්ල බලන්න යන්න ටිකට්ස් ගන්න ඕනේ. එතන හොදට පවත්වාගෙන යන නිසා ඉතින් එහෙම ගන්න එක පාඩුත් නෑ කියල හිතුණා. ලොකුම දේ තමයි  එහෙම current එක නෑ. ඒ නිසා cool බීම මුකුත් නෑ. එහෙම ඕනේ නම් town එක කිට්ටුවෙන් අරන් යන එක තමයි හොඳම. මොකද ඇල්ල බලල එද්දී හොඳ ගණන්.

අපි වාහෙනේ park එකේ නවත්තලා ටිකට්ස් අරගෙන ඇල්ල බලන්න ගියා. අපේ fitness කොච්චර හොඳද කිව්වොත් අන්තිම හරිය බහිද්දි කකුල් වෙව්ලනවා. අපිට මග පෙන්නවන්න කලු පාට බලු මල්ලි කෙනෙකුත් අපිත් එක්ක ආවා. ගිහින් එනකන්ම අපිත් එක්කම හිටියා. එයාට පුරුදු ඇති එන අයත් එක්ක ගිහින්. අපි දිය ඇල්ල හැම පැත්තකින්ම වගේ බැලුවා. ඇල්ලට ගොඩාක් දුරින් අපි හිටියත් වතුර බින්දු වැටෙනවා. අපි එතන පැය දෙකක් වගේ  හිටියා. වතුරෙ බැහලා හිටියා, ගල් උඩ නැගල හිටියා, තව දිය ඇල්ල මුදුනටත් ගියා. එදා වැස්සෙ නැති එක නම් පුදුම වාසනාවක්.























අපි ආපහු එද්දිත් බලු මල්ලි ආවා පස්සෙන්ම. පඩි පෙල නැග ගන්න එක තමයි අමාරුම වුනේ. අපි එකට ඇවිත් එතන තියෙන පොඩි කඩෙන් බීම අරන් බිව්වා. හැබයි cool නම් නෑ. අපිට එදා දවසට බලපු දේවල් ඇති කියලත් හිතුණා මහන්සි වැඩි කමට.

අපි කොහොම හරි දූවිලි ඇල්ල බලලා සමනල වැව බලන්න යන්න තමයි හිටියෙ. ආපු පාර දිගේ ආපහු ටිකක් දුර ඇවිත් මගින් වමට පාරක හැරිලා සමනල වැවට යන්න පුලුවන්. අපි මග ඉන්න අයගෙනුත් පාර අහගෙන ගියේ. ඔය අතරෙ අපේ බලන්ගොඩ දෙන්නාගෙ යාළුවො හැම තැනම.





අපි සමනල වැව එක ගාව නවත්තල ටිකක් වෙලා හිටියා එතන. එතනත් දුමිඳුගෙ යාළුවෙක් හම්බුනා. අපිට ඒ වෙද්දි හොඳටම බඩගිනි වෙලා හිටියෙ. අපි සමනල වැව පහු කරන් බෙලිහුල් ඔය campus එකත් පාස් කරන් ආයෙ බලන්ගොඩ පැත්තට ආවා කන්න තැනක් හොයන්. ඔහොම යද්දි හොඳ කන්න තැනක් හම්බුණා.



එතකොට හවස 4 විතර වෙලා. අපි එතනින් කෑම කාලා අමිලා ගෙ ගෙදරට යන්න පිටත් වුණා. ඒ යන අතරමග, පහන් තුඩාව ඇල්ල තියෙනවා කියලා දුමිඳු කලින් කියල තිබුණත් අපි වැඩි ඕනෙ කමක් කරේ නැහැ. ඒත් එතන පාස් කරන් යද්දි වැඩි දුරක් නෑ කියපු නිසා එතනත් බලමු කියලා ගියා. අපිට නාන්නත් වුණේ නැති නිසා එතන නාන්න ලේසිති වෙලා තමයි ගියේ.

එතන වාහන නවත්තන්න වැඩි පහසුකම් නැහැ. ඒත් එතන කඩයක් ගාව වාහනේ නවත්තල යනන් පුළුවන්. ඒ කඩේ අය බලාගන්නවා. අපි යද්දි ඒ කඩේ හිටපු අක්ක උපදෙස් මාලාවක් දුන්නා දුමිඳුට. දුමිඳු ඇල්ල ගාවට ගිහින් තියෙනවද කියල තමයි ගොඩක් ම ඇහුවෙ. නානව නම් බන්ට් එකට පහලින් නාන්න කිව්වා. ඇල්ල ගාව නාන්න එපා කිව්වා. අපිත් හා කියලා ගියා. අපි යද්දි කට්ටියක් එතන නානවා. ඒ හරිය පාස් කරන් උඩට යන්න ඕනෙ ඇල්ල ගාවට යන්න.  එතන බැම්මක් බැඳලා තියෙනවා වතුර පාර මැද්දෙන්.


ඒක දැකපු ගමන් එතනින් යන්න බෑ කියලා හිතුණා. ඇත්තම කිව්වොත් බය හිතුණා. ආපහු එන්න කලින් කෝකටත් කියලා ළගට ගිහින් බැලුවා එන වතුර පාර සැරද කියලා. එතකොට තේරුණා අවුලක් නෑ, යන්න පුළුවන් කියලා. මෙච්චර ළඟට ගියපු එකේ ආයෙ හැරිලා එන්නත් බෑනෙ. හිතට දහිරිය අරන් කට්ටිය එක්කම ගඟ තරණය කරා. ඒ වෙනකොටත් ඇල්ලක් පේන මානයකවත් තිබුණේ නෑ. ඒ වගේම යන්න පුලුවන් පාරක් වත් පෙනුණෙ නෑ. දුමිඳු හිටිය නිසා මිසක් මිසක් අපි තනියෙන්  වුණා නම් ඒ පැත්තට යන්න හිතන එකක් වත් නෑ.




කොහොම හරි ගල් උඩ බඩ ගාලා ගාලා ඇල්ල ගාවට යා ගත්තා. එතකොට තමයි තේරුණේ අර කාර් පාර්ක් එකේ අක්කා ඇල්ල ගාවට ගිහින් තියෙනවද කියලා අහපු එකේ තේරුම. ඒ ඇල්ල හැන්ගිලා වගේ තියෙන නිසාද මන්ද එතන පුදුම ලස්සනයි. ඇල්ල පොඩි වුණාට පහන් තුඩක හැඩේට තමයි වතුර ගලා ගෙන යන්නෙ. ඒකයි එතෙන්ට පහන් තුඩාව කියල කියන්නෙ. එතෙන්ට යන්න කාපු කට්ටයි එතන ලස්සනයි සේරම බලද්දි එතන තමයි එදා දවසට ගියපු හොඳම තැන කියලා අපි කතා කර කර ආයෙ පහලට බැස්සා නාන්න.











ඒ වෙද්දි වෙලාව 5.30 වගේ වෙලා. කමක් නෑ කියලා අපි නාන්න ලේස්ති වුණා. වතුර අයිස් වගේ සීතලයි. අපි නෑවෙ වතුර හරහා බැඳල තිබුණ බැම්මට යටින් ගොඩක් ගල් තියෙන හරියක. ඇල්ල හරියෙ නම් ගොඩාක් ගැඹූරුයි කියල කීප දෙනෙක් ම කිව්වා. ඒ හරියෙ නාන්න ගිහින් ගොඩක් අය මැරෙනව කියලා අපි ගිහින් ආවට පස්සෙ දැනගත්තා. කොහොමත් නොදන්න තැන් වලින් නාන්න යන්න නම් හොඳ නෑ. කොහොම හරි නාලා ඉවර වෙලා යන්න ලෑස්ති වෙද්දි දඩ බඩෝං ගාලා මාව ගල උඩ ලිස්සල වැටුණා. නිකන් කවුරු හරි උස්සලා පොළවෙ ගැහුවා වගේ පිට ඩෝං ගාලා ගලේ වැදුණා. හිතන්න වත් වෙලාවක් තිබුණෙ නෑ. නිකන් විදුලියක් කෙටුවා වගේ මං බිම. නැගිටිද්දි රිදෙන ඒවා බලනවට වඩා අපිට හිනා වැටිච්ච විදිහට. හොඳ වෙලාවට ඇඳුම් වල මඩ ගෑවුනා මිසක් වෙන මුකුත් ආබාධයක් වුනේ නහැ. ආයෙ දනි පනි ගාලා නැගිටගෙන වෙන ඇඳුමක් දාගෙන ආවා වාහනේ ළගට.

මොනව වුණත් එදා දවස බොහොම ඵලදායී විදිහට ඉවර වුණා. අපි දුමිඳුව ගෙදරට බස්සන්න ගියාම ඒ ගෙදර අය බොහෝම සතුටෙන් අපිව පිළිගත්තා. තේ බොන්නේ නැතුව එන්න දුන්නේ නෑ. දුමිඳුගෙ අම්මා අපි එද්දි තේ කොළ පැකට් ටිකකුත්  දුන්නා අපිට. ඒ දීපු තේ කොළ තාම බොනවා. අපි එහෙන් පිටත් වෙලා අමිලගෙ ගෙදරට යද්දි 8 විතර වෙලා.

අපි යද්දි අමිලා ගෙ බෑග් ගොඩක් අරන් ගියපු නිසා ඒ ගෙදර මිනිස්සු බය වෙලා අපි හැමදාම නවතින්න එයි කියලා. කන්න කලින් අපිට තේ හම්බුණා දොදොල් කෑලි ටිකක් එක්ක.. කන්න බෑ බත් කන්න බැරි වෙයි කියලා හිටපු අපි දොදොල් කෑල්ලක රස බැලුවා විතරයි මතක. ( අපි එද්දි මේ ගෙදර හදන දොදොල් ගැන දීර්ඝ විස්තරයක් අහන්න ලැබුණු නිසා අපිට  රස නොබලා ඉන්න බැරි වුණා ). කොහොම හරි අනිත් කෑලි ටිකත් එතනින් වාශ්ප වෙලා. කොහොම හරි අපිට බෙදලා දීපු බත් පිඟානටත් වග කියපු අපි කෙලින්ම ඇඳට වැටුණා මහන්සි නිසා.

ඊ ළඟ දවසෙ උදේම නම් කොහෙවත් යන්නෙ නෑ කියල හවසම අපි තීරණය කරලා තිබුණේ. ඒ නිසා උදෙන්ම නැගිටින්න කලබල වුණේ නැහැ අපි. ඇති වෙනකන් නිදාගෙන ඇහරෙද්දි උදේ 6.30 විතර වෙලා. අමිලා උදේම ඇවිත් කිව්වා මීදුම බාලා (මීදුම තියෙනවට බලන්ගොඩ කියන්නෙ එහෙමලු ) තියෙනව බලන්න ඕනෙ නම් එළියට යන්න ඕනෙ කියලා. අපි ඉතින් තේකත් අරන් මිදුලට ගිහින් තේ බිව්වා. එහේ වටේටෙම තේ වතු තමයි ඉතින්.

පස්සේ තේ වත්තට ගියා ඒකෙ ලස්සන බලන්න. ඔන්න එහෙදි තමයි මට පියුමි අක්කගෙ කටේ සද්දෙයි, චන්ඩියා වගේ හිටියට ඇත්තම මිනිහගෙ තත්වෙයි හරියටම දැන ගන්න පුළුවන් වුණේ. කූඩැල්ලෙක් එල්ලිලා කියලා දැක්ක ගමන් හූ තියාගෙන, උඩ පැනගෙන "තාත්තෙ, අම්මේ" කියාගෙන දුවපු දිවිල්ල නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ. අපිට මැරෙන්න හිනා.






අපි ටික වෙලාවක් වත්තේ ඇවිදලා උදේට කාලා එහෙම පිටත් වෙන්න ලේස්ති වුණා. එදා දවසෙ යමු කියලා හිතුවෙ බඹර කන්ද පැත්තේ. එදා දවසෙ guide වැඩේට අමිලා ගෙ මස්සිනා අයියා තමයි ආවේ. අපි ගෙදරින් පිට වෙද්දි උදේ 10 විතර වෙලා. අපිට දවල්ට කන්න අමිලා ගෙ අම්මා බත් පාර්සල් 3 කුත් දුන්නා.

අපි බලන්ගොඩින් නන්දන අයියා වත් දාගෙන බඹර කන්ද ගාවට යද්දි දවල් 12.30 විතර වෙලා.යන අතරෙ අපි රස කෑමකත් රස බැලුවා.

   


ඒ යන මග දිගට මම කපිල් අයියට  කතා කර කර ලංකා ඇල්ලට යන පාර ඇහුවා. එයා තමයි මට මුලින්ම ලංකා ඇල්ල ගැන කිව්වේ. බඹර කන්ද පැත්තෙ තියෙන දිය ඇලි බලද්දි දැක්ක ඒක තියෙන්නෙ බඹර කන්ද පැත්තෙමයි කියලා. අපේ චාරකත් මීට කලින් එහේ ගිහින් තිබුණා. ඒ නිසා පාර ගැන බයක් නැතුව ගියා. ඒ හරියට සිග්නල් ප්‍රශ්නෙකුත් නෑ. කොහොම හරි කාර් එක නවත්තපු වෙලේ ඉදන් කපිල් අයියාටයි චාරකටයි මාරුවෙන් මාරුවට කතා කර කර වද දුන්නා සෑහෙන්න පාර අහගන්න.




අපි බඹර කන්ද දිය ඇල්ල ගාවට ගිහින් ගොඩක් වෙලා ඇල්ල දිහා බලාගෙන හිටියා. එක එක විදිහට ඉදල photo ගත්තා. ඉතින් එක විකාරයයි එතන. සමහර අය ඇල්ල ගාවම නානවා. එයාලගේ උසයි ඇල්ලේ උසයි ඉතින් යෝධයෝ සහ කුරු මිට්ටෝ වගේ තමයි.









අපිට ඊට පස්සේ යන්න ඕනේ වුණේ ලංකා ඇල්ල බලන්න. චාරකයි, කපිල් අයියයි දෙන්නම කිව්වේ බඹර කන්ද බලල එද්දී උඩට යන්න පාරක් තියෙනවා ෆයිනස් ගස් මැද්දෙන් කියලා. ඒත් අපිට ඒ හරියේ ඔක්කොම නිකන් පාරවල් වගේ තමයි පෙනුනේ. උඩට නගින්නත් බය හිතුණා මුලින් මොකද ඒක නිකන් අංශක 60 ක් 70 ක් වගේ වෙන කන්දක්. ඒ දෙන්න කොච්චර කිව්වත් එතනින් නගින්න හිත දුන්නෙම නෑ ඒ හරියේ පහළට වෙන්න අනතුරුදායකයි කියල ගහලා තියෙන  බෝඩ් එක දැක්ක නිසා. අපිට sure ම නැති නිසා මායි පියුමි අක්කයි ආයේ ගිහින් Security ගෙන් අහන් ආවා යන්න පුළුවන් පාර ගැන. එයා යන්න පුළුවන් කියපු නිසා අපි හිතට දහිරිය අරන් නැග්ගා. ඔය අතරේ චාරකයි කපිල් අයියායි දෙන්නම පාර දෙකට බෙදෙන තැනක් ගැන කියල කිව්වා ඒ පල්ලෙහා පාරේ යන්න කියලා. ඒ නිසා ෆයිනස් ගස් අතරේ තියෙන පාර දෙකට බෙදෙන තැනකින් අපි පහලට බැහැල යන්න ගියා. පස්සේ ආයේ කපිල් අයියා කතා කරාම තමයි දන්නේ ෆයිනස් තියෙන හරිය පාස් කරලා උඩට ගිහින් පාර දෙකට බෙදෙන තැනින් පල්ලෙහා පාරේ කියලා.









ඉතින් ඔහොම පාර වැරදි වැරදි ෆයිනස් ගස් තියෙන හරිය ඉවර වෙන තැනට ආවා. ඒ හරියේ උඩට සෑහෙන්න ලොකු පළාතක් පේනවා. ඊට පස්සේ තියෙන්නේ ඉලුක් ගස් තියෙන තැන්නක්. ඒ හරියෙදි තමයි තේරුණේ ලංකාවේ ලස්සන ගැන. නිකන් වෙන ලෝකෙකට ගියා වගේ. අපේ මහන්සිය කොහෙන් ගියාද කියල නැති වුණා. ටිකක් දුර යද්දී පියුමි අක්කගේ සුන්දර කටහඩ ඒ තැන්න සිසාරා දෝංකාර දුන්නා "තාත්තේ අම්මේ" කියලා. බැලින්නම් කූඩලු මල්ලි කෙනෙක් කකුලට නැගල.




 ඉලුක් තැන්න පාස් කරල ආයෙත් පහලට බහින්න ඕනේ ඇල්ල ගාවට යන්න. ඔය අතරදි පාර දෙකට බෙදෙන තැනත් හම්බුණා. චාරක කියපු විදිහට එතනින් බඹර කන්ද උඩට යන්න පුළුවන්.  අපි පල්ලෙහා පාර දිගේ අපි දිගටම යද්දී ඇල්ලේ සද්දේ ඇහුණා. ආයෙත් කැලයක් අස්සෙන් රිංගල රිංගලා ඇල්ල ගාවටම ගියා. අම්මෝ ඒකත් මාරම ලස්සනයි ඉතින්. කැලේ හැංගිලා තියෙන නිසා මං හිතන්නේ ඒකෙ ලස්සන වැඩියි. ඉතින් අපි එතන ලස්සන විඳලා යන්න රෑ වෙන නිසා ආපහු ආවා. මං හිතන්නේ ඒක තමයි හොඳම අත්දැකීම ඒ මුළු ගමනටම.









අපි ආපහු car park එකට ගිහින් බඹර කන්ද ළග තියෙන බංකු වල ඉදගෙන දවල්ට කෑවා. අමිලගේ අම්ම හදල තිව්න සැමන් එකෙයි පරිප්පුවෙයි රස මතක් වෙද්දී මේ දැනුත් කටට කෙල උනනවා. ඒ වෙද්දී හවස 4 වගේ වෙලා. අපි ඉතින් එදාම කොළබ එන්න ඕනේ නිසා එදාට ගමන ඉවර කරා.

ඒත් ආපහු එන අතරේ පාර ගාවම තියෙන සුරතලී ඇල්ල බලන්නේ නැතුව එන්න බැරි වුණා. අපි හිතාගෙන හිටියේ එදා දවසේ බෙලිහුල් ඔයටත් යන්න. ඒත් එතෙන්ට යන්න ආයේ දවසක එනවා කියල හිතාගත්තා. සුරතලී ඇල්ල ගොඩක් උස නැති වුණාට ගොඩක් දිගයි. එතන ඇල්ල ගාවටම යන්න පුළුවන්. මාළුත් ඉන්නවා ගොඩක්. photos ගන්න හිටගත්තම මාළු ඇවිත් අනිනවා කකුල් වලට. ඉතින් අපි හූ තියනවා.











ඒ වෙද්දි හවස 5 විතර වෙලා. අපිට එදාම කොළඹ යන්න ඕනෙ නිසා වැඩි වෙලා ඉන්නෙ නැතුව ආවා ආපහු. අපි කොළඹ යන්න පිටත් වෙන්න කලින් පාර අයිනෙ තිව්න පොඩි ආප්ප කඩේකින් උණු උණු ආප්ප කාලා හොඳ ප්ලේන්ටියකුත් බීලා තමයි ආවෙ. ඒ දවසෙ ස්තූතිය නන්දන අයියට තමයි බෑ නොකියා අපිව එක්කන් ගියාට.




මායි පියුමි අක්කයි ආපහු කොළඹ එද්දි 10.30 විතර වෙලා. එද්දි නම් හොඳ ගණන් මට. අත් දෙක නිකන් ගැලවෙන්න වගේ. නිදිමතත් තිබුණා. රත්නපුරේ හරියෙන් වාහනේ නවත්තල පොඩ්ඩක් නිදාගෙනත් ඉඳල තමයි ආවෙ. පියුමි අක්ක ආපු නිසා ඉතින් කනක් ඇහිලා එන්න වුණේ නෑ.

ඔන්න ඔහොම ඉතින් ඒ ගමනත් ඉවර වුණා අමතක නොවෙන සිදුවීම් ගණනාවක් එක්ක. ඉතින් මේ ගමනටත් නොයෙක් අයුරෙන් උපකාර කරපු සහ අපිට පාර කියල දීපු, යන්න තැන් කියපු නයෝමි අක්කා, චාරක, කපිල් අයියා, ඒ වගේම එක්කන් ගියපු දුමිඳු සහ නන්දන අයියා සහ කන්න බොන්න දීලා නවාතැන් පහසුකම් සලසපු ප්‍රේමදාස පවුලටයි බොහෝම පින්. හැබයි තව බලන්න දේවල් ඉතුරු වුණු නිසා ආයෙ පාරක් බලන්ගොඩ යන්න වෙනවා තවත් දවසක. මනුෂගෙ කැමරාව නිසා ගොඩක් දේවල් record කර ගන්න පුළුවන් වුණා. ඉතින් එයාටත් ගොඩක් ස්තූතියි ඒකට.

වෙනදා වගේම මේ පාරත් කියන්න තියෙන්නේ, අකුරු වලට හරවන්න පුළුවන් වුණේ බොහොම ටිකයි. ඒත් ඇත්තටම ලබා ගත්තු දේවල් බොහෝමයි. ඒ හැමදේම අකුරු වලට හරවන්න බෑ ඉතින්.


2 comments:

  1. නියම ගමන...
    සේව් කරගනිමි පවුලත් එක්ක යන්න...
    ස්තූතියි

    ReplyDelete