Tuesday, January 8, 2019

යාපහුව, රන්මසු උයන, අවුකන හා රැස්වෙහෙර



මේ ගමන ගියේ 2018 මුල වගේ. ඒත් ලියන්න වෙලාවක් තිබුණෙ නැති උනත් හොඳටම ලියන්න ඕනකම තිබුණු තැනක්. මේ ගමන ගියේ අපේ තාත්තා අතුළු මගේ යාළුවෙක්ගෙ ගෙදර අය එක්ක. ගොඩාක් plan කරල ගියේ නැහැ.මගේ යාළුවගෙ තාත්තා තමයි නඩේ ගුරා වුණේ. අපි plan කරේ නැති වුණාට uncle හැමදේම plan කරලා තිබ්බේ.  අපි මුලින්ම ගියේ වාරියපොල සුමන්ගල පන්සලේ තියෙන සක්මන් බුදු පිළිමය බලන්න. අපි බුදු පිළිමය බලලා එතන ඉඩ තියෙන හරියකින් වාඩි වෙලා උදේට කෑවා. 


අපි ඊළඟට ගියේ යාපහුව රාජධානිය බලන්න. යාපහුව රාජධානිය කියන්නේ ලංකාවේ හතර වෙනි රාජධානිය යි. යාපහුව රාජධානියක් වෙන්න කලින් සුභ නම් ප්‍රාදේශීය පාලකයෙක් කාලිංග මාඝගේ ආක්‍රමණ කාලයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් හදල එහේ ඉදන් ඒ ප්‍රදේශය පාලනය කළා කියල සාධක ලිඛිත ලේඛන වල තියෙනවාලු. සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සහෝදරයාගේ මරණයෙන් පස්සේ රජකමට පත් වුණාම යාපහුව අගනගරය විදිහට යොදා ගත්තලු. වැඩි විස්තර මේ link (යාපහුව_බලකොටුව) එකෙන් බලාගන්න පුළුවන්. මේ පර්වතය සුභ පබ්බත, සුභ ගිරි,  යාපව්ව, යාපව්ගල කියල නම් කීපයකින්ම අදුන්වල තියෙනවා. යාපහුව  පුරාවිද්‍යාත්මක වශයෙන් ගත්තම දෙවෙනි වෙන්නේ සීගිරියට විතරයිලු. 

අපි ඇතුලට යද්දී හැම රාජධානියක වගේම වටේට ම තියෙන දිය අගල සහ පිට ප්‍රාකාරය දකින්නට තිබුණා. ප්‍රාකාරය හදල තිබුණේ කළු ගල් සහ ගඩොල් වලින්.. බලකොටුවට ඇතුල් වෙන තැනම මුර කුටි දෙකක් තිබුණා. එතනින් ඇතුල් වුණාට පස්සේ ගමන් ආයෙත් තැනිතලාවක් තියෙනවා. ඒකට කියන්නේ ඇතුල් නගරය කියලා. එතනින් පස්සේ අපි පන්සලට ඇතුල් වුණා. එතන ලොකු ගොඩනැගිල්ලක නටබුන් දකින්න තිබුණා. ඒක සභා ශාලාව කියල තමයි දැනගන්න ලැබුණේ. 




 




එතනම ඉස්සරහින් තමයි ගල උඩට යන්න පඩිපෙළ තිබුණේ. ප්‍රධාන ඇතුල් වීමේ දොරටුව තමයි ඒක. මේ පඩිපෙළ හදල තියෙන්නේ අංශක 45 ක ආනතියකට කියලා තමයි මතක. වෙන පඩිපෙල් නගිනවා වගේ නෙවෙයි හරිම අමාරුයි නගින්න. ඒ පඩිපෙල් දෙක නැග්ගම තමයි ද්වාර මණ්ඩපය දකින්න ලැබෙන්නේ. එතන තියෙන කැටයම් හරිම ලස්සනයි.










ගලෙන් කරලා තියෙන දේවල් දැක්කම පුදුම හිතෙනවා. වාමන රූප, දොරටු පාල කැටයම, මකර තොරණ සහ ගජ සිංහ රූපය තියෙන කොරවක් ගල. එතන විශිෂ්ටම නිර්මාණය තමයි සිංහ රූප දෙක. මේ දෙක මගේ ඇස් දෙකෙන්ම බලාගන්න සෑහෙන ආසාවෙන් හිටියේ මම. උඩටම නැග්ගම ද්වාර මණ්ඩපයේ කුළුණු ටික දැකගන්න පුළුවන්. එතනට පහළ සෑහෙන්න ප්‍රදේශයක් පේනවා. රජ කාලේදී මෙතන මුර භටයෝ එහෙම රාජකාරියේ යෙදෙන්න ඇති.


එතනින් පස්සේ ගල උඩට යනවා නම් යන්න පුළුවන්. ආයේ එන්න ලැබේවිද දන්නේ නැති නිසා ඔන්න ඔහේ යන් කියල අපි උඩටම නගින්න හිතුවා. පැය භාගයක් විතර ගියා අපිට උඩට නගින්න. ටිකක් අමාරු ගමනක්. වතුර බෝතලයක් අරන් යන්න පුළුවන් නම් හොදයි. 













සභා ශාලාව

   



පැරණි වෙහෙරෙ නටඹුන්


උඩටම නැග්ගම එතන බලකොටුවක් විදිහට යොදාගත්ත හේතුව නිකන්ම තේරෙනවා.  එතන දාගැබක, බෝධි ඝරයක සහ ගඩොලින් හදපු තවත් දේවල් කීපයකම නටබුන් දකින්න පුළුවන්. උඩම ඉදන් බැලුවොත් පහළ තියෙන සභා මණ්ඩපය පේනවා. අපි එතන ටිකක් මහන්සි ඇරලා ආයෙත් බහින්න ගත්තා.  








මේ ගහ ගාවටම යන්න පුළුවන්. එතෙන්ට තමයි සභා ශාලාව පේන්නෙ.
(යාපහුව ගල නැගල බැහලා මහන්සි අරිද්දි එක පාරටම රුක්ෂිකා කියල කතා කරනව ඇහුණා. මෙන්න සින්ගපූරුවෙ හිටිය කියලා හිතාගෙන හිටපු ක්‍රිශාන් යාපහුවෙ ඉදන් කතා කරනවා.. මට දෙන්න හිතුණා දෙකක්..)

මේ ගමනේදී අපි ගියපු තව තැනක් තමයි ඉසුරුමුණියේ රන්මසු උයන. මට ඇත්තටම බලන්න ඕනේ වුණේ තාරකා දොරටුව. ඒ වගේම ඉස්කෝලේ යන කාලේ මම ඉගෙන ගෙන තිබුණා ඉසුරුමුණියේ හොඳම ඇත් රූප කැටයම් තියෙන්නේ රන් මසු උයනේ බිසෝ මාලිගාවේ කියලා. ඉතින් ඒ ඔක්කොම බලන්න තමයි මට එහෙට යන්න ඕනේ වුණේ. 

මේ රන්මසු උයන කරවලා තියෙන්නේ දේවානම් පියතිස්ස රජතුමා. මහමෙව්නා උයන සඝ සතු කරලා පූජා කරපු නිසා රාජකීය උද්‍යානය ලෙස රන්මසු උයන ඉදි වෙලා තියෙනවා කියලා මහා වංශයේ සදහන් වෙනවලු. ඒ වගේම වෙස්සගිරි සෙල් ලිපියේ සදහන් වෙන පරිදි තිසා වැවේ වතුර මුලින්ම එන්නේ රන්මසු උයනට. රජතුමාට සහ බිසෝවරුන්ට වෙන වෙනම ඉදිකරලා තිබුණු පොකුණු දෙකක් අදටත් දකින්න පුළුවන්

 අහල තිබුණා වගේම ලස්සන ඇත් රූප ඒ පොකුණු දෙකේම දකින්න පුළුවන්. ඉසුරුමුණි විහාරයේ තියෙන ඇත් රූප වලට වඩා තාත්විකයි. මෙහේ මම තවත් දැකපු දෙයක් තමයි මුරගල් සහ සදකඩපහන් වල කැටයම් දකින්න නෑ කියන එක. මං හිතන්නේ මුර ගල් සහ සදකඩ පහන විකාශනය වෙන්න කලින් තමයි මේ උයන ඉදි කරන්න ඇත්තේ. රන්මසු උයන, දුටුගැමුණු රජතුමාගේ පුතා සාලිය කුමරුට අශෝකමාලා හමුවුණු තැන කියලත් කියනවලු.








තාරකා දොරටුව කියන්නේ ගලක් පිටි පස්සේ කොටලා තියෙන සංකේත කීපයකට. ඒවා කොටලා තියෙන්නේ චක්‍රයක් අකාරයට. විද්වතුන් එක එක මත පල කරලා තිබුණත් මේක රාවණා රජතුමා විසින් විශ්වය හරහා ගමන් කරන්න එහෙමත් නැත්නම් කාලය හරහා ගමන් කරන්න යොදාගත්තු මන්තරයක් කියලත් මතයක් තියෙනවා.

චක්‍රය පිළිබඳ ඉදිරිපත්ව ඇති මත
එච්.සී.පී. බෙල්
මෙමගින් ලෝක ධර්මතාවය පිළිබඳ බෞද්ධ අර්ථයක් ඉස්මතු කෙරේ. මධ්‍යයේ දැකගත හැකි චතුරස්‍රය මැද පිහිටි වෘත්ත හත සප්ත මහා සාගරය ලෙසද, එහි ඇතුලත පිහිටි තිත මහාමේරුවද, අනෙකුත් සංඛේත මගින් හිරු හා සඳුද, ජලජ සත්වයන් මගින් ජලජ ලෝකයද නිරූපණය කරන බැව් පවසයි.

ඇතැම් විට මෙය ලෝකයේ පැරණිතම සිතියමක් බවටද අනුමාන කෙරේ.

සෙනරත් පරණවිතාන
එච්.සී.පී. බෙල් මහතාගේ අදහස අනුමත කරයි.

මාර්ටින් වික්‍රමසිංහ
මහායාන තාන්ත්‍රයානිකයින්ගේ යන්ත්‍රයක් බව පවසයි.

සෙනරත් දිසානායක
මෙම ලෙන ඉදිරිපිට කොටා ඇති ආසන හා සම්බන්ධ කර ගනිමින් චක්‍රය දෙස බලා එක්තරා අකාරයක භාවනාවක් සිදුවන්නට ඇති බව ප්‍රකාශ කරයි. සත්ව රූප හා ජ්‍යාමිතික රූප පනස් තුන ගණන් කරමින් මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම වෙනුවෙන් වූ මානසික අභ්‍යාසයක යෙදීම මහි අදහස බැව් තව දුරටත් ප්‍රකාශ කරයි.





අපි අනුරාධපුරයෙන් පිටත් වෙලා අවුකන බුදු පිළිමය බලන්න ගියා. යන අතරේ කලා වැව ගාව නැවතිලා ටිකක් වෙලා හිටියා. වැව් බැම්මේ එක තැනකට අවුකන බුදු පිළිමය උඩට හයි කරලා තියෙන වහලේ කොටසක් පේනවා.


අවුකන බුදු පිළිමය ගැන කිව්වොත්, මං හිතන්නේ මං දැකපු අපූරුම බුදු පිළිමය තමයි ඒක. අභය මුද්‍රාව තමයි නිරූපණය වෙන්නේ. සිව්ර ඇගට ඇලිල කඩාහැලෙන විදිහක් තමයි පේන්න තියෙන්නේ. ඒකෙ විශාලත්වයයි, ඒකෙ කලාත්මක බවයි ගත්තම කියන්න බැරි තරම් විශිෂ්ට නිරමාණයක්. ඒක කොහොම හැදුවද කියලා හිතා ගන්න බෑ. බුදු හාමුදුරුවන්ගේ කරුණාවත්, ශාන්ත බවත්, මහා පෞර්ෂයත් කොහොම පණ නැති ගලකට කා වැද්දුවද කියලා හිතා ගන්න බෑ. මේක පිහිටලා තියෙන්නේ අනුරාධපුරෙන් ටිකක් ඈත නිසා බලන්න යන ප්‍රමාණය අඩුයි. ඒත් ඒ දුර ගෙවාගෙන හරි යන එක නම් මාර වටිනවා. මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නට වත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා.." එහෙම හොයාගන්න පුළුවන් නම් හොඳයි මේක මැව්වේ කොහොමද කියලා අහන්න.











අපි එතනින් පස්සේ ගියේ රැස්වෙහෙර බලන්න. රැස්වෙහෙර කියල එකක් අපි අහල තිබුණේ වත් නෑ ඒ හරියට යන්න කලින්. අනුරාධපුරේ ඉදන් අවුකන බුදු පිළිමය බලන්න ගියාටත් වඩා දුෂ්කර ගමනක් අවුකන ඉදන් රැස් වෙහෙරට යනවා කියන්නේ. මොකද ඒ හරියේ වැඩිය මිනිස් වාසයක් නැහැ. අලිත් ඉන්නවා කියල දැනගන්න ලැබුණා. ගොඩක් ම හේන් තමයි ඒ හරියේ තියෙන්නේ. කොහොම හරි හවස් වෙන්න කලින් අපි රැස් වෙහෙරට ගියා. එතනට ගියාම තමයි මට හිතුණේ ඇත්තටම අපි යන්න ඕනේ ඒ වගේ පන්සල් බලන්න කියලා. මොකද ඒ පන්සල් පවත්වා ගෙන යන්න සෑහෙන්න වෙහෙසක් ගන්නවා ඒ  හාමුදුරුවරු. වාහනේ car park එකේ නවත්තලා කන්දක් නගින්න ඕනේ පිළිමය බලන්න යන්න.
මේ විහාරයේ නම "සැස්ස රුව", "සැසේ රුව" වෙලා දැන් "රැස් වෙහෙර" වෙලා කියලත් දැනගන්න ලැබුණා.





රැස් වෙහෙර තියෙන හිටි බුදු පිළිමය බැලූ බැල්මට අවුකන බුදු පිළිමය වගෙයි. ඒ නිසාම ඒ පිළිම දෙක ගැන ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඒ අතරෙන් ගුරු ගෝල තරගයක් සහ සහෝදරයන් දෙන්නෙක්ගේ තරගයක් ගැන කතාව තමයි ප්‍රසිද්ධ. දෙන්නෙක් තරගෙට එක රැයෙන් පිළිම දෙකක් නෙලන්න පටන් ගත්තලු. මුලින්ම වැඩ ඉවර කරපු කෙනා හූවක් තියන්න ඕනේ කියලා කතා වෙලා වැඩේ පටන් ගත්තලු. අවුකන පිළිමේ හදපු කෙනා වැඩේ ඉවර කරලා හූ තියපු නිසා රැස් වෙහෙර පිළිමයේ වැඩ නවත්තලා පරාජය භාර අරගෙනලු. ඒ වගේම ගුරා අවුකන පිළිමය නෙලද්දී ගෝලයා රැස් වෙහෙර පිළිමය නෙලූ බවත් අවුකන පිළිමයේ වැඩ ඉවර වුණු නිසා ගෝලයා පරාජය භාරගත් බවත් තවත් කතාවක්. වළගම්බා රජතුමා මේ විහාරයේ සැගවිලා ඉද්දි පිළිමයක් නෙලන්න පටන් අරන් යුද්ධයට යන්න ඕනේ නිසා වැඩ අතරමග නවත්තන්න වුණු බවත් තවත් කතාවක්. 
ජන කතා එහෙම උනත් රැස් වෙහෙර පිළිමය මහසෙන් රජතුමාගේ කාලයේදී නෙලූ බවටත්, අවුකන පිළිමය ධාතුසේන රජතුමාගේ කාලයේදී නෙලූ බවටත් පුරවිද්‍යාත්මක සාධක තියෙනවලු.  කොහොම උනත් බුදු පිළිමය ගැන අධ්‍යනය කරපු අය කියනව කියන්නේ භාගෙට වැඩ නිම කරලා නෙවයි,  බුදු පිළිමය උඩින් තිබුණු හුණු බදාමයක් ගැලවිලා ගියපු නිසා මෙහෙම සම්පූර්ණ නැති බවක් පේනවා කියලයි. අවුකන බුදු පිළිමයේ සිරස් පතක් තිබුණත් මේ පිළිමයේ සිරස් පතක් ගලින් කරලා නැහැ. ලී සිරස් පතක් තිබුණා කියලා ලකණු තියෙනවලු. ඒ වගේම අවුකන පිළිමය නෙලලා තියෙන්නේ ගලේ මතුපිට උනත් රැස්වෙහර පිළිමය ගල ඇතුලේ පිහිටන විදිහට තමයි නෙලලා තියෙන්නේ. 


අපි බුදු පිළිමය බලල ආපහු බහිද්දී පන්සලේ මහණ වෙන්න නැවතිලා ඉන්න ළමයි දෙන්නෙක් විහාරගෙයි බලන්න යන් කියලා ගොඩක් ඇවිටිලි කරා. ඉතින් ඒ ඉල්ලීම අහක දාන්න බැරි නිසා අපි ආයෙත් පඩිපෙල් ටික නැගල විහාර ගෙට ගිහින් බැලුවා. එච්චර දුර ඇවිල්ලත් ඒ ටික බැලුවේ නැත්නම් අපරාදේ කියල හිතුණා. 





රජවරු කීප දෙනෙක් මෙම විහාරයේ ඉදිකිරීම් වලට දායක වෙලා තියෙන බව නම් පේනවා. මොකද විහාර ගෙයි තියෙන බිතු සිතුවම් මහනුවර යුගයේ ඒවා. වළගම්බා රජතුමා විසින්ම නෙලුවා කියල සැලකෙන ඉඳි බුදු පිලිමයක් විහාරගෙයි දකින්න පුළුවන්.









කපු රෙද්දෙන් කරන ලද සැතපෙන බුදු පිළිමයේ සිවුර
වළගම්බා රජතුමාම විසින් තනන ලදැයි සැලකෙන බුදු පිළිමය

විහාර ගෙයි තියෙන සැතපෙන බුදු පිළිමයත් විශේෂයි. මොකද කපු රෙදි වලින් සිව්රක් සකස් කරලා ඒ සිව්ර පිළිමයට තියල ඊට උඩින් බදාමයක් යොදල තමයි ඒ පිළිමයේ සිව්ර සකස් කරලා තියෙන්නේ. අදටත් සමහර තැන් වලින් ඒ කපු සිව්රේ රෙදි දකින්න පුළුවන්.

බුදු ගේ බලන්න එක්කන් ගියේ මේ දෙන්න

ඒ වගේම දෙතිස්පලරුහ බෝධියක් දේවානම්පියතිස්ස රජතුමා විසින් රෝපනය කරලා තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවලු.





අපි ආපහු යද්දී පොඩි කඩයක් තිබ්බ තැනකින් නවත්තල දවල්ට කන්න බැලුවා අපි හදාගෙන ගියපුවා. වැඩි දේවල් හදාගෙන ගියේ නැහැ. ඒත් අනේ ඒ කඩේ හිටපු ඇන්ටි අපිට ටක් ගාල ලූණු සම්බලක් හදලා එහෙම කන්න දුන්නා. අපිට මහන්සි ඇරගන්න ඔක්කොම පහසුකම් ටික සලස්සල දුන්නා. ඒ උදව් වලට මුදලක් වත් ගන්න එයා කැමති වුණේ නෑ. ලංකාවේ තාමත් ගම් වල මිනිස්සුන්ගේ හැංගිලා තියෙන මනුස්සකම ආගන්තුක සත්කාර ගැන සතුටු වෙලා සෑහෙන්න පින් අනුමෝදන් කරලා අපි එතනින් ආවා අපිට වෙන කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැති නිසා. 

මාවයි අපේ තාත්තයි  ඒ ගමනට සම්බන්ධ කරගත්තු ධර්මදාස uncle ඇතුළු ගෙදර අයටත්, වෙත්තසිංහ uncle ටත් බොහෝම පින්.

අපි ගියපු පාර.



1 comment:

  1. bet1xbet korean - Legalbet.co.kr
    Bet 1xbet is a 1xbet korean legal online sportsbook, betting, virtual casino, and poker game. It is one of the best virtual betting sites in the world, as it has a huge

    ReplyDelete