Saturday, October 6, 2018

සිංගප්පූරුවේ දවස් 3ක්...

කාලෙක ඉදන් තිබ්බ ආසාවක් තමයි plane එකේ කොහේ හරි පිට රටකට ගිහින් එන්න යන එක. ඉතින් ඒ හීනේ හැබෑ කරගත්තූ හැටි තමයි මේ තියෙන්නේ. ආයේ යන්න ඉන්න අයටත් වැදගත් වෙයි කියල හිතල තමයි ලිව්වේ.
මට කොහේ හරි යන්න ඕනේකම තිව්නට යන්න කව්රුවත් හිටියේ නැති නිසා මුලින්ම කරේ තව කවුරු හරි යන්න හොයන එක. එකෙක්වත් හම්බුනේ නැහැ. මුලින්ම ආසාව තිබ්බේ මැලේසියාවේ යන්න උනත් යන්න කව්රුවත් නැති නිසා මගේ හොඳම යාළුවෙක් වෙන ක්‍රිෂාන් සිංගප්පූරුවේ ඉන්න නිසා අඩු ගානේ එහේ හරි, තනියම හරි යනවා කියලා හිතාගත්තා. තාරගෙනුයි තමාලිගෙනුයි ඇහුවට තමාලි ළගදි ගිහින් ආපු නිසා ආයේ යන එක තේරුමක් නෑ වගේ නිසා බෑ කිව්වා. තාරටත් Engagement එකේ වැඩ නිසා busy වුණා. ඉතිං ඔහොම ඉන්නකොට අපේ කලින් ඔෆිස් එකේ වැඩ කරපු පියුමි අක්කාටත් යන්න ඕනේ කියලා කියපු නිසා අපි තව එක්කෙනක් හොයන්න ගත්තා. ඔහොම ඉන්නකොට අසිත් අයියාත් සෙට් උනා චැට් එකට. අපි බලෙන්ම යන් යන් කිව්වා ඒ මනුස්සයට. අසිත් අයියට ඉතින් බෑ කියන පුරුද්ද නැති නිසා හා යන් කියල කිව්වා.

අපි මුලින්ම කරේ අඩුවට තිබ්බ Airline එකක් බලලා air tickets බුක් කරපු එක. Find my fare කියන සයිට් එකෙන් තමයි බැලුවේ අඩුම tickets තියෙන Air line එක මොකද්ද කියලා. අපිට ඕනේ දවස් තෝර ගන්න එක තමයි අමාරුම වැඩේ උනේ. අපිට හොදයි කියල හිතෙන දවස් වලට තියෙන ටිකට්ස් ගණන්. තෝර ගන්න කලින්, කලින් ගියපු තමාලිගෙන් හොදට උපදෙස් ගත්තා. එයාල බලපු ඒවයි, කොච්චර වෙලාවක් ගිහින් තිබුණද කියලයි ඒවා ඔක්කොම අහගෙන අපි හිතුවා හවස මෙහෙන් ගිහින් ඊළග දවසේ උදේ ඉදංම ඇවිදිනවා කියලා. පස්සේ කොහොම කොහොම හරි ජුනි 27 හවස ගිහින් ජූලි 1 උදේම මෙහෙට එන්න ටිකට්ස් බුක් කරා. එහෙම කරේ අපිට සම්පූර්ණ දවස් 3ක් ඇවිදින්න තියෙන නිසාත් නවතින තැන බුක් කරන්න වෙන්නේ දවස් 3 කට නිසා. නිවාඩු දවසකුත් ඒ අතරේ තිබුණා. ටිකට්ස් බුක් කරේ හැබැයි අප්‍රේල් විතර.

ඉතින් ඔහොම බුක් කරලා ඉවර වෙලා අපි එහේ බලන්න තියෙන ඒවායේ විස්තර හොයන්න ගත්තා. ඉතින් අපිට යන්න ඕනේ කියලා හිතෙන දේවල් එක්ක තමාලි කියපු ඒවත් බලලා අපිට යන්නම ඕනේ තැන් වල ලිස්ට් එකක් හදාගත්තා. ඒවා බලද්දී Google map එකෙන් ඒ තැන් ටික mark කරගෙන ළග තියන ඒවා එක දවසේ බලන විදිහට time table එකක් හදාගත්තා. Trip adviser එකේ reviews වලින් බලාගත්තා ඒ ඒ තැන් බලන්න හොඳ වෙලාවලුයි කොච්චර වෙලාවක් යනවද කියලයි. ( විශේෂයෙන්ම එහේ එක තැනකින් තවත් තැනකට යන්න වැඩිපුරම මිනිත්තු 30ක් විතර තමයි යන්නේ. මොකද අපි ලිස්ට් එක හදාගද්දී අපේ නවතින තැන focus කරගෙන තමයි හැමදේම කරේ. ඒත් එහෙදි තේරුණා ඒක එච්චර තේරුමක් නෑ කියලා transport හොද නිසා.)
එහෙම හදාගත්තු ලිස්ට් එක තමයි මේ ඉස්සරහින් තියෙන්නේ.

අපි යන්න සති 3 කට විතර කලින් යන තැන් වල ටිකට්ස් online buy කරා. මෙන්න මේ site එකෙන් තමයි ඒක කරගත්තේ.
https://www.klook.com/city/6-singapore/

එහෙම පුළුවන් හැම ටිකට් එකම ගත්තා. මොකද එතන ගිහින් ටිකට්ස් ගන්නත් ගොඩක් වෙලා ඉන්න ඕනේ නිසා, ඒ වේලාව ඉතුරු කරගන්න තමයි ඕනේ වුණේ. සමහර තැන් වල දෙන්නේ voucher එකක්. ටිකට් counter එකෙන් ඒ voucher එක පෙන්නලා ටිකට් එක ගන්න ඕනේ. අපි යන්න කලින් හැම ටිකට් එකේම print outs ගත්තා. එහෙම නැති උනත් mobile එකෙන් ටිකට් එකේ QR code එක හරි bar code එක හරි පෙන්නුවත් ඇති.

ඒ වගේම print outs වලට අමතරව ඒ ඔක්කොම ටිකට්ස් ටිකයි, air ටිකට්ස් ටිකයි, අපේ නවතින තැන් වල address, phone numbers දාපු google drive folder එකක් තියාගත්තා. SGD අඩු දවසක් බලලා සල්ලිත් මාරු කරගත්තා. යන්න දවසට කලින් දවසේ credit card, Visa cards, Singapore වලට activate කරගත්තා. මෙහෙන් Roaming active කරගන්නවාට වඩා එහෙන් sim එකක් ගන්න එක ලාබයි. එහේ sim එකක් 30 SGD ක් වගේ වෙනවා. ඒත් අපි නම් එහෙන් ගත්තේ නෑ. මොකද වියදම් අඩු කරගන්න ඕනේ නිසා. අපි නවතින තැන WiFi එකෙන් තමයි ඔක්කොම කරගත්තේ. පාරවල් හොයාගත්ත හැටි පස්සේ විස්තර කරන්නම්.

ඉතිං අපි යන දවසේ උදේ flight එකට online check in එක කරලා පැය දෙකක් විතර තියලා Airport එකට ගියා. යද්දී අපි මීගමුවට car එකේ ගිහින් Mickey ලගේ ගෙදර car එක දාල ආව. ආවේ නෑ ඇත්තටම Mickey ඇවිත් දාලා ගියා. ඉතින් Airport එකට ගියාට පස්සේ, අපේ පියුමි අක්කා කලින් ඉගිල්ලිලා තියෙන නිසා, එයා තමයි නඩේ ගුරා වුණේ. Airport එකෙන් check in වෙද්දී මගෙනුයි පියුමි අක්කගෙනුයි නවතින්නේ කොහේද First time ද ඇයි Singapore යන්නේ වගේ විස්තර ඇහුවා. නවතින තැන book කරපු රිසිට් එකත් ඉල්ලලා බැලුවා. හැබෙයි අසිත් අයියාගෙන් නම් ඒවා ඇහුවේ නෑ. ගෑණු ළමයි යනකොට Safety ද කියලා ටිකක් ඕනේ කමින් බලනවා කියලයි අපිට හිතුනේ. මොකද තමලිලා ගෙනුත් එහෙම අහල තිබුණා. අපි ගිහිල්ලා පොඩි Form එකක් පුරවලා, custom officers ලා අහන ප්‍රශ්ණ වලට උත්තර දීලා ඇතුලට ගියා. ඊට පස්සේ duty free එකේ එහෙම ඇවිදලා gate එක තියෙන තැන හොයාගෙන වාඩි වෙලා ඉදලා gate එක open කරාම security check in එකත් පහු කරලා flight එකට ගිහින් වාඩි වුණා. ඊට පස්සේ ඉදන් ඉතින් bus එකේ කොනේ seat එකට පොරකනවා වගේ එක පොරයයි අයිනේ seat එකට. කොහොම හරි වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ නිසා පියුමි අක්කට කොනේ seat එක නිතරගයෙන්ම හිමි වුණා. මම plane එකේ යන පළවෙනි පාර නිසා ටිකක් බයෙන් හිටියේ මොකද්ද මේ උඩට නග්ගද්දී සිද්දවෙන්නේ කියලා හැමෝම කියන බය හිතෙන දේ. කොහොම වුනත් ඒක එච්චර අවුලක් වුණේ නෑ යන්තන්.




අපි ඉතින් film එකක් බල බල ගියා. ලොකුම අමාරුව වුණේ මොන film එකද බලන්න තෝර ගන්නේ කියන එක. Plane එකේ ගියපු පැය 4 නම් ගෙවිලා ගියා නිකංම. තවත් යන්න තිබ්බා නම් හොදයි කියලා හිතුණා. Plane එකක් සල්ලි වලට ගන්න ආසාවකුත් ආවා මට නම්.




         



 


 


 


 

ඉතින් අපි plane එකෙන් බැහැල එළියට ගිහින් immigration එකට ඕනේ වෙන form එක fill කරලා Que එකට වෙලා හිටියා. ඒත් වැඩි වෙලා ගියේ නෑ විනාඩි දෙකෙන් තුනෙන් ප්‍රශ්ණ ටික අහලා එතන වැඩ ටික ඉවර කරා. අසිත් අයියා ගේ form එකේ නවතින address එක දාලා තිබුණේ නෑ. එයා යාළුවෙක්ගේ ගෙදර නවතිනවා කිව්වට කොහේද කියලා අහලා, දැන්ම යාළුවට call එකක් අරන් address එක අහන්න කියලා. හොද වෙලාවට එයා Roaming active කරලා තිබුන නිසා ක්‍රිෂාන් ට call එකක් දීලා address එක අහගත්ත. ඒ නැතත් හරියට ඒ form එකේ නවතින තැන fill කරා නම් එහෙම අහන එකක් නෑ කියල අපිට හිතුණා. Airport එකේ wi-fi connect වෙන්න machine එකක් තියෙනවා කිව්වට එහෙම එකක් අපිට හම්බුනේ නෑ. දන්න විදිහට passport එක scan කරලා connect වෙන්න තියෙන්නේ. ටිකක් එළියට එද්දී තියෙනවා sim cards, travel cards ගන්න තියෙන shops airport එක ඇතුලෙම. අපි එක තැනකින් අසිත් අයියාට travel card එකක් විතරක් ගත්තා, sim එකක් ටිකක් ගණන් නිසා. මටයි පියුමි අක්කටයි කලින් ගියපු එක්කෙනෙක් ගේ cards දෙකක් හම්බෙලා තිබ්බා. එක card එකක් අවුරුදු 2ක් ද කොහෙද valid.



ඉතින් අපි එළියට බහිද්දිම ක්‍රිෂාන් airport එකට ඇවිත් හිටියා. එහේ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ grab (https://www.grab.com) කියන cab service එක. එයා ඒකෙන් cab එකක් දාලා අපිව නවතින තැනට එක්කන් ගියා. ඊට පස්සේ අපි බෑග් ටික ඔක්කොම නවතින තැන දාලා රෑට මොනවා හරි කන්න කියලා එළියට ආවා. එහේ station ගාව තමයි town එක තියෙන්නේ. ඔක්කොම කඩවල් ටික station එකේ shopping mall එකේ තමයි තියෙන්නේ.අපි MacDonald එකෙන් කාලා ගියා station එකේ රවුමක් දාන්න (එහේ ගණන් අඩුම ඒවා තමයි. අනිත් එක නොදන්න තැන් වලින් කාලා ලෙඩ හදා ගන්න ඕනේ නැති නිසා Mac, KFC, Starbucks තමයි recommend කරන්න පුළුවන්.) . එහෙදි ක්‍රිෂාන් අපිට යන්න ඕනේ තැනට train එකක් හොයාගන්න හැටි, travel card එකට re-charge කරන හැටි ඔක්කොම කියලා දුන්නා. ඊට පස්සේ අසිත් අයියයි ක්‍රිශානුයි අපි දෙන්නාව නවතින තැනට දාලා එයාලගේ boarding එකට ගියා. ඊළග දවසේ 6.30 වෙද්දී ගමන පටන් ගන්න තමයි plan එකේ තිබ්බේ. මායි පියුමි අක්කයි නවතින තැනට ගිහින් ඊළග දවසේ යන්න තියෙන තැන් බලලා, යන්න ඕනේ trains ටිකෙයි, පාරවල් ටිකෙයි screen shots අරන් save කරගත්තා phone එකට. පියුමි අක්ක offline Google map එක download කරගත්තා.

මෙන්න මේ app එකෙන් පුළුවන් trains යන පාරවල් ටික බලාගන්න.
https://play.google.com/store/apps/details?id=com.roarapps.singaporemrt&hl=en

ඉස්සෙල්ලම Google map එකෙන් බලාගන්නවා අපිට යන්න ඕනේ තැනට යන්නේ කොහොමද කියලා. ඒක මෙන්න මේ වගේ.



ඉතිං 28 උදේම අසිත් අයියා අපි නැවතිලා හිටපු තැනට ආවා. අපි 3 දෙනාම station එකට පයින් ඇවිදන් ගියා. මතක ඇතුව Tickets ටික ගන්න ඕනේ. ටිකට්ස් අමතක වෙලා ආයේ ගිහින් අරන් ආවා. යද්දී ඉතින් pavement එකෙත් මෙහේ මහ පාරේ වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති මං තීරු නීතිය ක්‍රියාත්මකයි. පයින් යන අය වගේම බයිසිකල්, ස්කූටර් වගේ දේවලුත් පදික මන්තීරුවේ එන නිසා හැම තිස්සෙම වම් පැත්තෙන් යන්න ඕනේ. 



  

මොකද හැම එක්කෙනෙක්ම ඉස්සර කරන්නේ දකුණු පැත්තෙන්. පදික මං තීරුවේ විතරක් නෙවෙයි station එකේ තියෙන elevators වලත් ඒ නීතියම තමයි. ඒ වගේම තමයි එහේ අරහේ මෙහේ කුණු දැම්මොත් දඩය වැඩියි. ඒ නිසා පොඩි ටොෆි කොළයක්වත් බිම නොදාන්න පරිස්සන් වෙන්න ඕනේ. ඒ වගේම පාරේ කහ ඉරි( එහේ තියෙන්නේ සුදු ඉරි) ගාව හිටගෙන හිටියොත් එහේ වාහන නවත්තනවා. පාර පනින්න ඉනන්වද නැද්ද කියලා එයාල හිතන්නේ නෑ. ඒ නිසා කහ ඉර ගාව phone එක දිහා බලාගෙන ඉන්න එපා. වාහන පෝලිමට නවත්තත් ඉදිවී පනිනකන්. අපේ අසිත් අයියට නම් එහෙම වුණේ නැහැ . ඒ වගේම එහේ තැන තැන foot cycles තියෙනවා. එහේ sim එකක් තියෙනවා නම්, app එකක් install කරගෙන ඒ bikes unlock කරගන්න පුළුවන්. යන්න ඕනේ තැනට ගිහින්, lock කරලා ආයෙත් දාලා යන්න තියෙන්නේ ඕනේ තැනක. අපිට sim එකක් තිව්නේ නැති නිසා try කරලා බලන්න බැරි වුණා. එක sim එකකට බයිසිකල් දෙකක් ගන්න පුළුවන් කියල ක්‍රිෂාන් කිව්වා.

අපේ schedule එකට අපි අනුව අපිට මුලින්ම යන්න තිබුණේ sea aquarium එකටයි Adventure water cove park එකටයි. ඒ දෙකම තියෙන්නේ Sentosa Island එකේ. අපි ඉතින් Serengoon වලින් නැගලා Hougan වලට වලින් බහින්න ඕනේ වලට යන්න. Train එක හොයාගන්නෙ මෙහෙමයි. අපේ location ඉදන් Sentosa Island කියලා සර්ච් කරහම මේ වගේ මැප් එකක් තමයි එන්නේ.


  
දම් පාට Train අරගෙන HarbourFront වලින් බහින්න ඕනෙ. ඊට පස්සෙ MRT map එකේ බලන්න ඕනෙ අන්තිම station දෙක. හරි පැත්ත බලාගන්න. Platform එකේ දෙපැත්තේ එන්නේ පැති දෙකට යන Trains. ඒ කියන්නෙ HarbourFront පැත්තට යන එකේ තමයි යන්න ඕනේ. හරියට නිකන් කොළඹ ඉදන් හික්කඩුවට යන්න ඕනෙ නම් ගාල්ල පැත්තට යන බස් එකක නගින්න ඕනෙ වගේ. Platform එකේ, එක පැත්තක එන්නේ ගාල්ලට යන trains. අනිත් පැත්තේ එන්නේ කොළඹට යන trains. හරියට යන්න ඕනෙ පැත්ත බලලා නගින්න ඕනෙ.


 


 


 

 

අපේ schedule එකේ හැටියට අපි ඉස්සෙල්ලම යන්න හිටියේ Tooth relic temple එකට. අපිට ටිකක් උදේම යන්න බැරි උනත් අපි හිතුව transport හොද නිසා එතෙන්ට ගිහින්ම යන් කියලා. අපි China town වලින් බැස්සා. බැහැලා Offline map එක දාගෙන පාර හොයන් ගියා. ඇතුලට ගියාම එතන හාමුදුරුවරු සහ ගිහි අය ගාථා කියනවා. ලොකු පිළිම තිබුණා. ඇතුලට යන්න ඇඳුම ප්‍රශ්නයක් නැහැ. 4 වෙනි තට්ටුවේ තමයි දන්ත ධාතූන් වහන්සේ වැඩ ඉන්නේ. එතන ඇතුලේ විතරක් photos ගන්න බැහැ. ඒත් අනිත් තැන් ඕනේ තැනක photos ගන්න පුළුවන්. එතන හරි නිස්කලන්කයි. ගොඩක් කට්ටිය ඇවිත් භාවනා කරනවා. එතන උඩට ගිහින් Orchid වගාවක් බලන්න කියලා එතන Security කෙනෙක් කිව්වා. අපි ඉතින් උඩටම ගියා එතන ලොකු ඝන්ටාරයක් වගේ එකක් කැරකෙනවා. මිනිස්සු එක කරකවනවා. අපිත් ඉතින් ඒක වටයක් කරකවල ආවා. ලොකුවට Orchid වගාවක් නම් නැහැ බලන්න.







  


  

ආයෙත් අපි කලින් විදිහටම train එක හොයා ගෙන Habourfront වලින් බැස්සා. Map එකේ විදිහට අපි Sentosa Island එකට යන්න ඕනේ. ඒකට වෙනම train එකක් Habourfront වල තියෙනවා. ඒක තියෙන්නේ ඒ Shopping mall එකේ උඩම තට්ටුවේ. ඉතින් අපි Sentosa Island වලින් බැහැල, Sentosa එක ඇතුලට ආවා. 


 


 


හැම තැනටම යන විදිහ ඊතල වලින් පෙන්නලා තියෙනවා. Universal studio, Sea aquarium, Adventure water cove park ඔය හැම එකම ළග ළග තමයි තියෙන්නේ. අපි ඉතින් Sea aquarium එක හොයාගෙන ගියා. අපි tickets print කරන් ආපු නිසා ඉක්මනටම ඇතුලට යන්න පුළුවන් වුණා. එකේ නම් වැඩිය සෙනග නැහැ. අපි ඇතුලට යද්දීම අපේ group photo එකක් ගත්තා free කිය කියා. අපිත් ඉතින් ඔන්න ඔහේ ගත්තු දෙන් කියලා හිටියා. පස්සේ එළියට එද්දී තමයි වැඩේ තේරුණේ. අපි එළියට එද්දී ඒ photo එක frame එකකට තියාගෙන අල්ලගෙන ඉන්නවා එක්කෙනක්. වැඩිය ගණන් නෑ. 30 SGD. ඒ කියන්නේ රුපියල් 3500ක් වගේ. අපි එපා කියලා ආවා. ඒ වැඩේ හැම තැනකම තියෙනවා. ඒ වගේම හැම තැනක් බලල ඉවර වෙලා එළියට එන්න තියෙන්නේ ඒ තැනට අදාල Ornaments, toys, key tags වගේ තියෙන shop එකකින්. ඒ අතින් නම් හොදටම marketing තියෙනවා හැම තැනකටම.

ඉතින් Sea aquarium එක ගත්තොත් ඉතින් එක එක මාළු ජාති ගොඩාක් tanks වල දාලා තියෙනවා. ලොකුම ලොකු මාළු ඉන්න ටැංකි ගොඩක් තියෙනවා. සමහර ඒවා දකිද්දී ඉතින් මුහුද ඇතුලේ ඉන්නවා වගේ හැගීමකුත් එනවා. එච්චරට ලොකුයි. හැම තැනම වතුර අපිරිසිදු වෙන විදි, කොහොමද පරිසරය රැක ගන්නේ, පරිසරය අපිරිසිදු වෙන එකෙන් අපිට, සත්තුන්ට මොකද වෙන්නේ කියලා posters වලින් පැහැදිලි කරලා දෙනවා. 


 


 


 


 













අපි දැක්කා ගොඩාක් පොඩි ළමයින්ව ඉස්කෝල වලින්, Montessori වලින් එක්කන් ඇවිත් මේවා පැහැදිලි කරලා දෙනවා. එතන තියෙන ලොකුම ටැංකිය ගාව පොඩි ළමයින්ට චිත්‍ර අදින්නත් ලේස්ති කරලා තියෙනවා පාට පෙට්ටි පැන්සල් වගේ තියලා. ඉතින් පොඩි කාලේ ඉදන්ම කුණු දාන එකෙන් මොකද වෙන්නේ ඒවා මේවා පොඩි අයට කාවැදෙනවා.



 

හැබැයි එතන තලගොයි කබරු වගෙත් ටැංකි වල දාලා තියෙනවා. මීවන එහෙම හදලා. ඒවා නම් දැක්කම ඉතින් මේවා ටැංකි වල දාලා තියන්න ඕනේද කියලා හිතෙනවා. ලංකාවේ මේවා තියෙන විදිහට. ඒත් එහේ ඒවා නැති වෙලා නිසා ඉතින් එයාල ඒවත් එහෙම දාලා තියෙනවා. ඒ අතින් අපි කොච්චර හොද රටකට ද ඉන්නේ කියලා හිතුණා. අපෙත් ඉතින් තියෙන ඒවා විනාස කරගත්තොත් ඉතින් ඒ වගේම ටැංකි වල දාලා පෙන්නන්න තියන්න වෙයි. අපි එතනින් පිට වෙලා ටිකක් Sentosa Island එකේ ඇවිද්දා. Island කිව්වට ඒක Island එකක්ම නෙවෙයි. 
 


 

 

 


ඊට පස්සේ අපි Adventure Water cove park එකට ගියා. අපි එහෙට Swimming kits අරගෙනයි ගියේ. අපි ඇඳුම් මාරු කරගෙන Lockers වලට අපේ බෑග්ස් ටික දැම්මා. පොඩි Locker එකක් 10 SGD වගේ වෙනවා. ලොකු එකක් 20 SGD වෙනවා. අපේ බෑග්ස් දෙකක් විතරක් තිබුණ නිසා ගත්තේ පොඩි එකක්. Finger print එකෙන් අපි දෙන Pin number එකකින් තමයි Locker එක lock කරන්න තියෙන්නේ. ආයෙත් ඕනේ වෙලාවට Pin number එක හරි Finger print එක හරි දීල Unlock කරගන්න පුළුවන්.


 

ඉතින් අපි ඇතුලට ගිහිල්ලා එක එක activities කරා. ඔක්කොම ඉතින් වතුර එක්ක තමයි. බට ඇතුලෙන් ගිහින් වතුරට වැටෙන ඒවා, artificial sea waves, sliders ගොඩක් ඒවා වතුර එක්ක තමයි තියෙන්නේ. තව එකක් තියෙනවා පීනන්න පුළුවන් අයට විතරක්, කොරල් පර හදපු මුහුදු පතුලක කිමිදෙන්න තියෙනවා. ඉතින් මේ ඔක්කොම activities ටික කරලා ඉවර වෙද්දී 6 වගේ වුණා. ඇතුලට camera ගෙනියන්න බැරි නිසා මේ photos ටිකක් ගන්න බැරි වුණා. Adventure Water Cove Park  මේ Web site එකේ ඔක්කොම විස්තර තියෙනවා. එහේ 7 ටත් හොදට එළියයි. මොකද එහේ පොඩ්ඩක් වේලාව ඉස්සරහට ඇදල තියෙන්නේ tourists ලට ලේසි වෙන්න. ඒ නිසා 6 ට වගේ තමයි අපි ආපහු Station එකට ගියේ.

අපේ ඊළග plan එක වුණේ Gardens by bay එකේ 7.30 ට තියෙන Garden rhapsody අහන්න යන එක. අපි ඉතින් Gardens by bay Station එකට ගිහින් හොයාගෙන ගියා rhapsody එක play වෙන තැනට. තමාලි කියපු විදිහට එතන බිම හාන්සි වෙලා අහන්න තමයි plan එක වුණේ. අපි ඉතින් එතනට යද්දී කළුවර වැටිලා. අපි තැනක් හොයාගෙන බිම හාන්සි වෙලා අහස දිහා බලාගෙන හිටියා. දවසෙම මැරිලා හිටපු අපිට ඉතින් සෑහෙන සනීපයක් ඒක. ඉතින් music එකත් එක්ක Lights show එක පටන් ගත්තා. 




 

 

 

 

 

 

ඒකත් වෙනමම ආතල් එකක්. ලස්සන musics ටිකක් play වුණා එතන. එතන Sky way එකට යන්නත් plan කරලා තිබුණට online ටිකට්ස් තිබුණේ නෑ. ටිකට්ස් වලට පෝලිම ඉතින් අපි ඒක අත් ඇරලා, Marina bay පැත්තට ගියා ඇවිදින්න.ඒ හරියට Singapore flyer එක හොඳට පේනවා. අපි හිතුවා එතෙන්ට පයින් යන්න පුළුවන් ඇති කියලා. 


 

ඒ වෙද්දී නම් හොද ගණන් ඉතින්. Marina bay එකටත් ඔළුව දාලා Singapore flyer එකට යන විදිහ හොයද්දි තමයි දැක්කේ ඒකටත් train එකේ යන්න ඕනේ කියලා ලගයි කියල පෙනුනට. අපි ඉතින් train එකේ ගිහිල්ල ඒ station එකෙන් බැහැලා Singapore flyer එක පේන පැත්ත බලාගෙන ඇවිදන් ගියා ඒ පැත්තට. ඒත් ළගට යද්දී හිතුනෙම ඒක කැරකෙන්නේ නෑ. නවත්තලද දන්නේ නෑ කියලා. මොකද ඒක කැරකෙන පාටක් පෙන්නේ නෑ දුරට. ඒත් ටික වෙලාවක් ගියාම තමයි දැනුණේ ඒක කැරකෙන්නේ බොහෝම හෙමින් කියල. 

Singapore flyer එකෙත් tickets, online ගන්න තිබුණේ නෑ. එතන ටිකට් counter එකෙන් තමයි ගත්තේ. ටිකට්ස් අරන් උඩ තට්ටුවට ගිහින් Flyer එකට නගින තැන, බස් එකට දුවන් ගිහින් නගිනවා වගේ නගින්න ඕනේ. ඒක නවත්තන් ඉන්නේ නෑ නගිනකන්. අපි හිතන් හිටියට වඩා ලොකු ඉඩක් ඒකෙ තියෙනවා. අපි ඉතින් ඒ බංකු වල හතර ගාතේ දාලා හාන්සි වෙලා හිටියා. විනාඩි 30ක් තිස්සේ ඒක කැරකෙනවා. උඩටම ගියාම ඉතින් ගොඩාක් දුරට යනකන් පේනවා. රෑ නිසා හැමතැනම lights තමයි පෙනුනේ. 


 


 


 

අපි ඉතින් ඒකෙන් බහිද්දී රෑ 10.30 විතර වෙලා. ආපහු Serengoon වලට ගිහින් Mac එකෙන් කාලා නවතින තැනට ගිහින් හොදට නිදාගත්තා. ඒ වෙනකොට කකුල් දෙකට හොඳ ගණන් ඇවිදලා ඇවිදලා.

ඊළග දවසේ උදේම නැගිටලා අපි tea බීලා, noodles එකකුත් කාලා එළියට බැස්සා 7 ට විතර. එදා දවසම වෙන් කරලා තිබුණේ Universal studio එකට. හැබයි Sentosa Island එකට යන්න දාගත්තේ cable cars වල. Universal Studio open කරන time එකටමට එතන ඉන්න තමයි බලාගෙන ගියේ. අපි ඉතින් Habour front වලට ගිහින් එතනින් cable cars තියෙන tower එක හොයාගත්තා. Cable cars ටිකට්ස් අපි online book කරාට ඒකෙ හම්බෙන්නේ Voucher එකක්. ඒ voucher එක දීලා ටිකට්ස් ටික counter එකෙන් ඉල්ලගන්න ඕනේ. Cable car ඒකටත් නගින්න තිබ්බේ අර වගේම දුවල දුවලා ගිහින්. Sentosa වලින් Cable car වලින් බැහැල අපි Universal studio එකට ගියා. එතනත් ටිකට්ස් අපි අරන් ගියපු නිසා වැඩි වෙලාවක් පෝලිමේ ඉන්න වුණේ නෑ.


 



 


අපි Universal studio එකට ඇතුල් වෙලා, එතනින් හම්බුණු map එක බලාගෙන අපි ඇතුලට ගිහින්, මුලින්ම ගියේ Transform Activity එකට. 


 


 

Transformer එකට ගිහින් උදේම නිසා සැහෙන්න පෝලිම. ගොඩක් වෙලා පෝලිමේ ඉන්න වුණා. ඒක නම් සැහෙන්න කට්ටක්. හැබැයි Express tickets ගත්තා නම් ඉක්මනට ඇතුලට යන්න පුළුවන්. අපි ගත්තේ normal tickets නිසා සැහෙන්න වෙලාවක් පෝලිමේ ඉන්න වුණා. Transform එකේ තියෙන්නේ 3D glasses දාලා car එකක එහාට මෙහාට යන එක. Transformer film එකේ වගේ එක Robot කෙනෙක් අපි ඉන්න car එකට ගහනවා. තව එක්කෙනෙක් බේරාගන්නවා. එක සැරේටම building එකකින් පහලට වැටෙනවා අපි යන car එක. Activity එක තිබ්බේ විනාඩි දෙක තුනයි. ඒත් පෝලිමේ පැයක් විතර ඉන්න වුණා. එච්චර පෝලිමේ හිටපු නිසා ඒ activity එක පෝලිමේ තරමට වටින්නේ නෑ කියලා හිතුණා.


 

අපි එළියට ගිහින් එතන තියෙන ලොකුම Roller coaster එකේ යන්න ලේස්ති වුණා. ඒක තිබ්බේ Transformer එකට එහා පැත්තේ. අපේ බැග්ස් එහෙම lockers වල දාලා පෝලිමේ ඉන්න ඕනේ. ඒකෙ තියෙන lockers පැයක් විතර free. ඒත් පැයට වැඩියෙන් වෙලා ගියොත් ඩොලර්ස් ගාණක් කැපෙනවා. ඒවත් finger print එකෙන් තමයි lock කරන්න තියෙන්නේ. අපි ටික වෙලාවකින් පුරුදු වුණා යන්න කලින් map එක හොදට බලලා, waiting time(හැම තිස්සෙම announce කරලා කියනවා. ඒ වගේම screen එකක දානවා ඉස්සරහම) එක බලලා activity එක හොඳ නම් විතරක් ඇතුලට යන්න. ඒ ලොකුම Roller coaster එකේ ගමන නම් අමතක වෙන්නේ නෑ. අම්මෝ... ඔලුවත් පහලට කරකවනවා. අම්මා තාත්තා ඔක්කොම මතක් වෙනවා. බඩ පපුව නෑ වගේ. දත් මිටි කාගෙන ඉවසන් ඉන්නවා. දැන් ඇති කියලත් හිතුණා. හැබැයි ඔක්කොම විනාඩි දෙක තුනෙන් ඉවරයි.


 

ඊළගට අපි ගියේ Mummies කියන Roller coaster එකට. ඒක තනිකරම ඊජ්ප්තුව වගේ තමයි හදලා තියෙන්නේ. පිරමිඩයක් ඇතුලට යනවා වගේ තමයි යන්න තියෙන්නේ. අපි යද්දී එකේ එච්චර පෝලිමක් තිබුණේ නෑ විනාඩි 20න් වගේ ඇතුලට ගියා. අම්මෝ.. එකත් වෙනමම ආතල් එකක්. ඒක හරියට අපාය ඇතුලට යනවා වගේ. තිත්ත කළුවරේ Roller coaster එක පහලට තල්ලු කරලා දානවා. එක එක තැන් වලින් Mummy නැගිටිනවා. ගින්දර එනවා. හොදට රස්නේ දැනෙනවා. කෑ ගහගෙන යන්න තමයි තියෙන්නේ ඉතින්. දැනිච්ච දේවල් වචන වලින් විස්තර කරන්න අමාරුයි ඉතින්.


 

ඊළගට අපි ගියේ Jurassic park එකට. ඒකෙ තියෙනවා වතුර පාරක් දිගේ boat එකෙන් යන්න. ඒ යද්දී Dinosaurs ලා පේන්න ඉන්නවා. අපි ඒක ළගට ගියත් waiting time එක පැයක් නිසා පෝලිමේ හිටියේ නෑ. අනිත් එක අපේ කිතුල් කන්දේ ඉතින් ඕක ස්වභාවිකම තියෙන නිසා artificial අත්දැකීමක් ඕනේ වුණේ නෑ. Jurassic park ඒකෙම තියෙනවා තව Roller coaster වගේ එකක්. කකුල් දෙක එල්ලී එල්ලී යන්න තියෙන්නේ. ඒක ටිකක් වෙනස් අත්දැකීමක් නිසා ඒකට ගියා. ඒකෙ යද්දී කකුල් ගස් වල වදිනවා වගේ දැනෙනවා. කකුල් දෙක නවාගෙනම තමයි යන්න හිතෙන්නේ. මේ එකකවත් අතේ මුකුත් අරන් යන්න දෙන්නේ නෑ.


 


 


 


 


 

 

අපි Jurasik Park එකෙන් එළියට ඇවිත් ඒ හරියෙම තිබුණ Restaurant එකකින් කෑම කෑවා. තැන් කීපයක්ම තියෙනවා කන්න. Starbucks එකකුත් තිබුණා.



ඊට පස්සේ අපි ගියේ, Far far away kingdom එකට. ඒකෙ Poos in boots roller coaster එක තිබුණා. ඒකෙ waiting time එක පැයක් වුනත් ඒක roller coaster එකක් නිසා පෝලිමේ හිටගෙන හිටියා. අපි ඒක පොඩි එකක් කියලා හිතුවට ඒකත් ඉතින් කරකවල ගන්නවා.


 


 





 ඒක ඉවර වෙද්දී නම් හොඳ ගණන් කකුල් දෙකට. වාඩි වෙන්න තැනක් හොයා හොයා එළියට යද්දී far far away මාලිගාව ඇතුලේ ඉදන් ගොඩාක් කට්ටිය එනවා දැක්කා. අපිත් ඉතින් මොකද්ද කියල වත් නොදැන ඔන්න ඔහේ ඇතුලට ගියා. ඒකෙ නම් පෝලිම එච්චර නෑ. ගොඩක් කට්ටිය එක සැරේ ඇතුලට ගන්නවා. 3D Glasses අතට දීලා ලොකු Hall එකක් වගේ එකකට දැම්මා. අපිට හිටගෙන ඉන්නවත් පණ නැති නිසා අපි අයිනක් අල්ලන් බිම වාඩි වුණා. මෙන්න Announcer කෙනෙක් කතා කරලා කියනවා, ගැබිණි කාන්තාවත්, හදවත් රෝගීන් ඉන්නවා නම් ඇතුල් වෙන්න එපා ඒවා මේවා ගොඩක් කිව්වා. අපිටත් ටිකක් බය හිතුණා මේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා, ඇයි මොකද්ද වෙන්නේ කියලවත් නොදැනනේ ආවේ. අපි එක එක ඒවා හිතනවා අර තඩි hall එකේ කොනක බිම වාඩි වෙලා. හොල්මන් වගේ එනවද දන්නේ නෑ එහෙම කියලා. පස්සේ ටික වෙලාවක් යද්දී දොරවල් ටිකක් ඇරලා film hall එකක් වගේ එකකට ඇතුල් වෙන්න කිව්වා. එතකොටයි තේරුණේ film එකක් බලන්නයි ඇවිත් තියෙන්නේ කියලා. වාඩි වෙන්න තැනක්නේ හොයා හොයා හිටියේ, කොහොම හරි කමක් නෑ කියලා ඔන්න ඔහේ වාඩි වෙලා හිටියා.
Shrek 4D short film එකක්. ඒකත් හොද අත්දැකීමක් අශ්වයාගේ පිටේ යනකොට පුටු ටික ගැස්සෙනවා ඒ විදිහට. වතුර ඉහෙනවා, මකුණෝ ටිකක් වැටෙන එකක් තිබුණා. එකේදී නම් කකුල් වලට වැදුණා මොනවා හරි හරියට නිකන් මකුණෝ දගලනවා වගේ. කකුල් උස්සන් කෑ ගැහුවා ඉතින්. විනාඩි 15 ක් වගේ film එක තිබුණේ. එළියට එද්දී තමයි දැක්කේ film hall කියල ගහලා තියෙනවා කියල.


 

එතනින් පස්සේ අපි ගියේ dragon roller coaster එකට. ඒකෙත් waiting time තිබුණේ විනාඩි 20ක් විතර. හවස් වෙන්න වෙන්න waiting time එක අඩු වෙනවා. මොකද ගොඩක් අය උදේ ඉදන් මහන්සි වෙලා වෙලා හවස් වෙද්දී ආපහු යනවා පෙනුණු විදිහට. කොහොම හරි පෝලිමේ ඉදලා ඒකටත් chance එක හම්බුණා. කලින් ඒවත් එක්ක බලද්දී මේක පොඩි roller coaster එකක්. ඉතින් අසිත් අයියා ලෑස්ති වුණේ video කරගන්න. එයාගේ phone එක අමතක වෙලා මගේ එක ඉල්ලුවා. මං කිව්වා බැරි වෙලාවත් ඕක වැටුණොත් එහෙම ඉවරයි නේ ඕනේ නෑ කියල. මෙන්න ඒක යන්න පටන් ගත්තහමයි දැනුණේ පොඩි වුණාට කැරකිල්ල නම් අඩු නෑ කියලා. අපි ආතල් එකට කෑ ගැහුවා. ඉවර වෙලා ඒක නැවැත්තුවා විතරයි පිටිපස්සේ ඉන්න පොඩි කොල්ලෙක් අහනවා ඇයි ඔයාල බය වුනාද ඒක හරිම පොඩි එකක් නේ කියලා. ලැජ්ජාවේ සන්තෝසේ බැරි වුණා ඉතින්.


 



අපි ඒකෙන් පස්සේ ගියේ Madagascar පැත්තට. ඒකෙත් waiting time එක සැහෙන්න අඩුයි. මොකද එතකොට වෙලාව හවස 5 විතර වෙලා. ගොඩක් අය එළියට ගිහින්. ඒ ටිකේ තිබ්බ Merry go round, boat rides ඒ ඔක්කොගෙම ගියා.


 


 


 


 

ඒ ටිකේ ඇවිදලා එද්දී stage drama එකක් යනවා, Dinosaurs ලා ගැන. ඒකත් ඉස්සි ඉස්සි බැලුවා.


 


 



 ඊට පස්සේ අපිට Wings of time musical show එක බලන්න තියෙන නිසා අපි ඒක ඉවර වෙනකන් බලන්නේ නැතුව එළියට ආවා. අපි Sentosa train එකෙන්ම beach station එකට ගියා. ගිහිල්ලා අපේ vouchers ටික දීලා tickets ටික ගත්තා. ගිහින් හොඳ තැනක් බලලා වාඩි වුණා. එතන තිබ්බේ වතුර, light beams, music වල එකතුවක්. 


 
 


එන ගමන් අපි candy shop එකකටත් ඔළුව දැම්මා..





 

අපි කලින් Gardens by bay යන්න හිතාගෙන හිටියත් එදා දවසෙයි කලින් දවසෙත් හොදටම හෙම්බත් වෙලා හිටිය නිසා අපි හිතුවා ටිකක් rest කරන එක හොදයි කියලා. ඉතින් අපි එදා ටිකක් කලින් නැවතිලා හිටපු තැනට ගියා. ඒත් ඉතින් රෑ 11 විතර වුණා. 
යද්දී අපි බස් එකේ halts දෙකක් විතර ගිහින් බැස්සා. නගින තැනින් card එක ටැප් කරනවා. ආයේ බහින තැනින් ටැප් කරන් බහිනවා. අපේ වගේ බෙල් ගහන්න ඕනේ නෑ බහින තැනින්. හැම halt එකේම නවත්තනවා..




ඊළඟ දවසේ ටිකක් දවල් වෙලා යමු කියලා හිතලා හොඳට නිදා ගත්තා.

තුන්වෙනි දවසේ උදේ 8 විතර වෙනකන් හොදට නිදා ගත්තා. අපිට එදා නැවතිලා හිටපු තැනින් check out වෙන්න තිව්නා. ඒත් flight එක තිබුණේ රෑ 12 ට. ඒ නිසා අපේ බෑග්ස් ටික pack කරලා ක්‍රිෂාන්ලගේ apartment එකෙන් ගිහින් තිව්වා. අපේ schedule එකේ තිබුණේ Flower dome එකයි Cloud forest එකයි. 11 ට විතර අපි ක්‍රිෂාන්ලගේ apartment එකෙන් පිටත් වෙලා Gardens by bay එක පැත්තට ගියා. යන්න කලින් අපිට හොඳ තේ පැන් සංග්‍රහයකුත් හම්බ වුණා පුළුවන් විදිහට. අපි එතනින් Flower dome එක පැත්තට ගියා. Flower dome එක තියෙන්නෙත් Gardens by bay එක කිට්ටුව.


 




Flower dome එක ඇතුලට ගියාම තමයි තේරුණේ මේ කියන්නේ මොකද්ද කියලා. ගොඩක් අයට හොඳ ඇති, ඒත් මට නම් මෙලෝ රහක් තිබුණේ නෑ. ඇයි කිව්වොත් ඉතින්, ඒක AC කරපු building එකක් ඇතුලේ රට රටවලින් ගෙනාපු එක එක පැළ පැල කරපු තැනක්. එයාල ඒක හොඳට maintain කරනවා ඉතින්. ඒත් ඉතින් අපේ රටේ තියෙන ස්වභාවික කැලයක අහලකින් වත් තියන්න බෑ. ඒකෙ නම් බලන්න දෙයක් නැති නිසා මං පැත්තටක වෙලා වාඩි වෙලා හිටියා. පියුමි අක්කයි, අසිත් අයියත් වටේ පිටේ ටිකක් ඇවිදලා ආවා. 


 


 


 


 


 


 

අපි ඊට පස්සේ ගියේ ඒ ළගම තියෙන cloud forest එකට. ඒකත් ඉතින් වැඩි වෙනසක් නෑ. දිය ඇල්ලක් නැති ව නිසා තට්ටු හතරේ building එකක් හදලා ඒකෙන් එළියට වතුර බට ටිකක් දාලා. ඒක තමයි බලන්න තියෙන දිය ඇල්ල. cloud forest කියන්නේ එයාලා කෘතීම මීදුම ඇති කරනවා වෙලාවල් කීපයකට. අපි ඉතින් මීට වඩා ලස්සන ස්වභාවික දේවල් දැකල තියෙන නිසා වැඩි අරුමයක් වුණේ නෑ. 


 



 

 

 

 

අපි ඉක්මණට එතනින් ආවා අපිට shopping යන්නත් තියෙන නිසා. අපි ඉතින් එළියට බැහලා ආවා සෙනගත් එක්කම. යනවා යනවා පාරේ ඉවරයක් නෑ වගේ දැනුනා. එතකොට තමයි මතක් උනේ අපි යන්න ඕනේ තැන බලන්න. මෙන්න අර Marina bay එක පොඩියට පේනවා. අපි වැරදි පැත්තට ඇවිදන් ඇවිත් තියෙන්නේ කතාව පිටින්. දැන් මොනවා කරන්නද ආයේ ඒ පැත්තට යන්න ඕනේ පයින්. හොද පණ ගිහින් තිබුණේ. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. ආපහු හැරුනම දැක්කා පොඩි පොඩි කෑම කඩවල් ටිකක් තියෙනවා. පොඩි බඩගින්නකුත් ආව නිසා ඒ පැත්තට ගිහින් කන්න ඕනේ කියලා හිතුවා. අන්තිම දවස නිසා බත් කන්න ඕනේ කියල හිතලා බත් කෑවා.


 


 


 

එතනින් යද්දීඅපි බීම අරගෙන බිබී ගියා.ටික වෙලාවකින් අපි ආයෙත් station එක කිට්ටුවට යද්දී මම පියුමි අක්කට මගේ බීම එක දුන්නා බොන්න, මට බොන්න බැරි හින්දා. ඒත් අපි ගමන නැවැත්තුවේ නෑ. පියුමි අක්කා පස්සෙන් එනවා දැක්කා. පියුමි අක්කා cup එක දාන්න dustbin එකක් ගාවට යනවා දැක්කා. මායි අසිත් අයියායි නවතින්නේ නැතුවම ඉස්සරහට ගියා. මෙන්න ටික වෙලාවක් ගිහින් පිටි පස්ස බලද්දී පියුමි අක්ක නෑ. මටයි අසිත් අයියටයි තරු පෙනුණා. අපි ආපස්සට ගිහින් බැලුවා කෝ මෙයා කියලා.බලනවා බලනවා නෑ. අසිත් අයියා අනිත් පැත්තට ගිහින් බලන්න ලැස්ති උනේ. මං කිව්වා ඉන්න යන්න එපා. මෙතෙන්ට ආපහු එයි ගියපු තැනකින්, ඔයා ගියොත් ඔයත් හොයාගන්න බැරි වෙයි, එක තැනක ඉමු කියලා. අපි දෙන්න ඉතින් වට පිට බල බල හිටියා. මට දැන් මැවිලා පේනවා අපි මොකද කරන්නේ කියලා. පොලිසියට කියලා මෙයා හොයාගන්න වෙනවා. පියුමි අක්ක ගාව ක්‍රිෂාන් ගේ Contact number එකක් වත් නෑ. Address එක ලියාගත්තෙත් නෑ.අපරාදේ ඒක හැමෝටම ලියල දෙන්නතිබුණා. අය්යෝ ඕවා මේවා මම මවනවා. මෙන්න එතකොටම ඉස්සරහ තියෙන washroom එකේ ඉදන් එළියට එනවා එක්කෙනෙක්. මට දෙන්න හිතුණා දෙකක්. මම බැන්නා බැන්නා. ඇයි කියලා ගියේ නැත්තේ කියලා. එයා හිතුවලු අපිත් washroom ගියා කියලා. හම්මෝ කොහොම හරි හොයාගත්තු නිසා බේරුනා. නැත්නම් විනාසයක් වෙන්නේ. ඒ නිසා අතරමන් වෙන එකටත් ලෑස්ති වෙලාම යන්න. කාගේ හරි number එකක් තියාගෙන, අතරමං උනොත් එන්න තැනක් කතා කරගෙන යන්න. එතකොට බය වෙන්න දෙයක් නෑ.



 

 

අපි ඊට පස්සේ ගියේ Mustapha center එකට. බඩු ටිකක් ගන්න. ඒ shopping mall එක කොච්චර ලොකුද කියනව නම් 2km විතර දිග ඇති. ඕනේ බඩුවක් තියෙනවා. ඒත් බඩු තියෙන තැන් හොයාගන්න අමාරුයි. දවසක්ම ඇවිද්දත් මදි වෙයි ඒකෙන් බඩු ගන්න. ඇතුලට යන්න කලින් එක එක බඩු තියෙන තැන් ටික බලාගෙන ඇතුලට ගියා නම් හරි. ඒ වගේම එළියට එන්න වෙලාවක් කතා කරගෙන ගියාම එක එක්කෙනාට ඕනේ ඕනේ විදිහට ඇවිදලා අදාල වෙලාවට එළියට ආවාම හරි. Passport එකයි, සල්ලි ටිකකුයි තමන් ළගම තියාගත්තොත් හොදයි. මොකද බැරි වෙලාවත් කට්ටිය මග අරුනොත් එහෙම හොයාගන්න වෙන්නේ නෑ. Lifts ම තියෙනවා 11ක්. ඒකේ tax claim කරන්න bills ටික එකතු කරගෙන වෙනම bill එකක් ගන්න තියෙනවා. ඒක තියෙන්නේ වෙනම තැනක. bills ටික ඔක්කොම එකතු කරගෙන ගිහින් එතෙන්ට දීල වෙනම බිලක් ගන්න ඕනේ. එතනින් passport එක, ආපහු යන දවස දවස එහෙම විස්තර එහෙම බලනවා. අපි එතනින් එක එක බඩු ගත්තත් චොක්ලට් ගන්න one doller shop කියල එකකට ගියා ක්‍රිෂාන්ලගේ apartment එක කිට්ටුව තියෙන. එතන ගොඩක් ලාභයි වෙන තැන් වලට වඩා. අපිට flight එක තිබුණේ රෑ 12 ට. අපි 8 වගේ වෙද්දී ක්‍රිෂාන්ලගේ apartment එකට ගිහින් එහෙන් wash එකක් දාගෙන airport එකට යන්න පිටත් වුණා.Airport එකට ගිහින් මුලින්ම අපි ගත්තු බඩු වල tax ටිකට සල්ලි ආපහු ගත්තා check in වෙන්න කලින්. ඉතින් අපි ආයෙත් ලංකාවට ආවා උඩින්.




 

අපි ඇවිත් එළියට එද්දී නම් එපා වුණා. Immigration එකෙන් check out වෙන්න සෑහෙන්න වෙලා ගියා. එතන ඉන්න ලංකාවේ කාර්ය මණ්ඩලය නම් අන්තිමයි. කිසිම පණක් නෑ වගේ තමයි වැඩ කරන්නේ. කොච්චර පිරිසක් පෝලිමේ ඉන්නවද කියන එක එයාලට ගාණක්
නැහැ. ඔහේ හිමීට හීමීට එයාලගේ පාඩුවේ වැඩ. පිට රට වලින් ආපු අයට ලංකාව ගැන ලැබෙන First impression එක අන්තිමයි. පැය එකහමාරක් විතර ගියා පෝලීමේ ඉදලා එතනින් එළියට එන්න. ඇයි ඉතින් මෙහෙම flight එකක කී දෙනෙක් එනවද ඒකට හරියන කාර්ය මණ්ඩලය එතන නෑ. සෑහෙන්න පෝලිමක්. එක්කෙනක් ඉදගෙන හෙමීට හෙමීට මිනිස්සු යවනවා. ඒත් අපි සිංගපුරුවේ දැක්කේ මීට වඩා ගොඩක් කඩිසර නිලධාරීන්. ඉතින් ලංකාව දියුණු වෙන්නේ නැති එක සාදාරණයි එක අතකට මෙච්චර කම්මැලි නිලධාරීන් ඉන්න කොට.

ඉතින් ඔන්න ඔහොම අපේ පළවෙනි ගුවන් ගමන ගිහින් ආවා. ලබාගත්තු අත්දැකීම නම් අපූරුයි කියලා කියන්න පුළුවන්. ඒත් ඒක එහෙදි කියපු කරපු දේවල් නිසාවත් දැකපු දේවල් නිසාවත් නෙවෙයි. ගමන ගැන හිතන්න පටන් ගත්තු වෙලේ අපි තනියම ඒක plan කරපු හැටි, තීරණ ගත්තු හැටි, තනියම ප්‍රශ්න වලට මූණ දීපු හැටි, තනියම පාරවල් හොයාගෙන ගියපු හැටි ඒ හැමදේම එකතු වෙලා තමයි ඒ ගමන අපූරු වුණේ. තනියම
කිව්වට සෑහෙන පිරිසකගේ උදව් ඇතුව. 

සිංගප්පූරුව ගැන කිව්වොත් ඒක හොද රටක්. කලින් අපේ රටටත් වඩා අන්ත විදිහට තිවිලා කිසිම ස්වාභාවික සම්පතක් නැතුව ගොඩ නගපු රටක්. අඩු ගානේ වතුරවත් නැහැ මං හිතන්නේ. ඉතින් ඒ රට දැන් තියෙන තත්වේ ගත්තම ලංකාවට වඩා සෑහෙන්න හොදයි එක පැත්තකින්. ඒත් මට අනුව නම් ලංකාවේ සමහර දේවල් එක්ක නම් හැරෙන්නවත් බැහැ. මට ඒ ගමනේදී දැනුන ලොකුම වෙනසක් තමයි, මිනිස්සුත් එක්ක බොරුවට හරි හිනා වෙන මිනිස්සු එහේ නැහැ කියන එක. ලංකාවේ අපි පාරක් ඇහුවම උනත් හිනා වෙලා ඒක පෙන්නලා දීලා, පුළුවන් නම් එතෙන්ට ගිහිල්ල ඇරලලත් එන ජාතිය. ඒත්, එහේ මිනිස්සු එහෙම හිනා වෙන්නේ නෑ. මට නම් ඒක මුලින් හරි අමුතු වුණා. මොකද ඒක නිකන් ලංකාවේදී අපි තරහින් පාරක් පෙන්නනවා වගේ. අපිට බය හිතෙනවා මේ මිනිස්සුන්ට අපි කරදරයක් කරා වගේ හැගීමක්. ඒ මිනිස්සු machines වගේ කියලයි මට හිතුණේ. ඉතින් අනිත් මිනිස්සු ගැන හිතන විදිහ අතින් ලංකාව තාම ඉදිරියෙන්. තව දෙයක් තමයි, ස්වාභාවික දේවල්. ඒ අතින් නම් ලංකාව එක්ක හැරෙන්නවත් බැහැ. එහේ ඔක්කොම තියෙන්නේ කෘතීම දේවල්. ගස්, දිය ඇලි, වෙල් යායවල් ඒවා මුකුත් එහේ නැහැ. කොටින්ම බලන්න කියලා ස්වාභාවික මුකුත්ම එහේ නැහැ මිනිස්සු හදපු දේවල් ඇරෙන්න. මෙච්චර දේවල් මෙහේ තියාගෙන අපේ මිනිස්සු මොකට එහේ බලන්න යනවද කියල හිතෙනවා වෙලාවකට. හැබයි transport අතින් ගත්තොත් ලංකාවට තව සෑහෙන කල් යයි ඒ තත්වෙට එන්න. හැබයි ඉතින් එයාලගේ රට පොඩි නිසා ලේසි වෙන්න ඇති ඒවා හදන්න. හොදට plan කරලා තියෙන බව නම් පේනවා හදන්න කලින්. එහේ මාර්ග නීති, ඉතාම හොදට ක්‍රියාත්මක වෙනවා. මං හිතන්නේ සෑහෙන දඩයක් ඇති මාර්ග නීති කඩ කරොත්. අපේ තියෙන ත්‍රී වීල් කන්දරාව එහේ නැහැ. ඒ නිසා අරහෙන් මෙහෙන් දාල යන්න බෑ. පරණ වාහනත් නැහැ. කුණු දාන අයට ලොකු දඩයක් වදින නිසා කව්රුත් කුණු දන්නේ නෑ. 


 


ඒත් ඉතින් එයාල එයාලගේ නැති දේවල් වල අඩුව වහගන්න දෙයක් කරලා තියෙනවා. ඒත් අපේ තියෙන දේවලුත් නැති කරගෙන,ආයේ පෙන්නන්න දේකුත් හදන්න කෙනෙක් නැති වෙයි. මොකද නැති කරන්න කට්ටිය හිටියට ඇති කරන්න කට්ටිය මෙහේ අඩු නිසා. රටකට ගිහින් එන එක හොදයි. හැබයි එහේ තියෙන දේවල් වලින් පාඩමක් ඉගෙන ගෙන මෙහේ හොද විදිහට හදා ගන්න ඕනේ. මොකද හැමදාම දෙස්පාලුවොට විතරක් බැන බැන හිටියට සාමාන්‍ය මිනිස්සුන්ගෙත් වැරදි සෑහෙන්න තියෙනවා.



ඉතින් ඔන්න ඔහොම අපේ ගමන ඉවර වුණා. අපිට ඇත්තටම එහේ යන්න ශක්තියක් වුණේ ක්‍රිෂාන් එහේ හිටපු එක. එයාගේ ඇඳ අසිත් අයියට දීලා එයා පුටුවක් උඩ නිදා ගත්තා කියලා අසිත් අයියා කිව්වා. ඒ වගේම මටයි පියුමි අක්කටයිත් නවතින්න තැනක් හොයල දීලා අපි ගැන හෙව්වේ බැලුවේ එයා තමයි. යන්න කලින් plan එක හදාගන්න, ගිහින් කරන්න ඕනේ දේවල්, ඒවාට මේවාට තමාලි සැහෙන්න උපදෙස් ටිකක් දුන්නා. Flight එක book කරද්දී කලනි, උමන්ගා අක්කා උදව් කරා. දුරක හිටියත් චරිතා, ත්‍රිශාලි යන්න ඕනේ තැන් ඒවා මේවා කියලා දුන්නා. අපේ Office එකේ හැමෝම ගිහින් එනකන් වැඩ ටික බලාගන්න sup එක දුන්නා. Mickey, ගිහින් එනකන් වාහනේ බලාගත්තා. ගිහින් එනකන්ම touch එකේ ඉදලා අපේ ගෙදරට පණිවිඩ දුන්නේ ඉතිං තාරායි තමාලියි තමයි. මං එනකන් බලන් ඉදලා කෑම හදල දීපු නයෝමි අක්කටත් බොහොම පින්. එකී මෙකී නොකී මෙහෙම යාළුවෝ ටිකක් ලැබිච්ච එක ගැන මම හදවතින්ම සතුටු වෙනවා. මෙහම අය ලෝකේ හැමතැනම ඉද්දි මට නම්, ලෝකෙත් හරි පුංචියි කියලා දැනෙනවා.

සියළුම චායාරුප අයිතිය අසිත් අයියා, පියුමි අක්කා සහ මා සතු වේ...


2 comments: