Sunday, February 21, 2016

දවසක් දා....



ඔන්න දවසක් මම ගෙදර යනකොට හිතුණා කොහේ හරි trip එකක් යන්න ඕනේ කියලා කාලෙකින් ගියේ නැති නිසා. මම කල්පනා කරලා බැලුවා කොහේද යන්න හොඳ කියල. මට මතක් උනා අනස් ලගදි දවසක මී මුරේ ගියා නේද යාළුවොත් එක්ක කියලා. ඉතින් මම අනස්ට ඒ වෙලාවේම කතා කරලා කිව්වේ එක්කන් යන්න අපිවත් කියලා. තමාලිටත් මම කතා කරලා ඇහුවා යමුද කියලා. එයා කිව්වේ කොච්චර දවසක් ඉදන් කියනවද එක්කන් යන්නේ නෑ කියලා. ඒත් අනස් කොහොම හරි අපිවත් එක්කන් යන්න කැමති උනා. යන්න කට්ටිය හොයාගන්න එක තමයි ඊලගට තිව්න ලොකුම අමාරු වැඩේ. එක එක්කෙනාගෙන් අහල බැලුවා. මම තමාලි තාරායි අනසුයි විතරයි හිටියේ. අන්තිමට කොහොම හරි අනස් (යසිරු)රිටා ව කැමති කරගෙන තිව්නා එයා marry කරන්න ඉන්න කෙනත් එක්කම. අපි fb එකේ post එකක් දාලා අහල බැලුව යන්න කැමති කට්ටිය. තාරාටත් අන්තිම මොහොතේ යන්න බැරි උනා office එකේ හදිස්සි වැඩක් වැටුන නිසා. ඒකට නම් ගොඩක් අවුල් මටයි තමාලිටයි. කොහොම හරි (රුසිරු)පිටායි, නිශාදියිත් එනවා කිව්වා යන්න.

අපේ අදහස උනේ රෑ කැලේ නැවතිලා camp එකක් කරන්න.අනස් කලින් ගිහින් තිව්න නිසා බයක් තිබුනෙ නෑ. ඉතින් මමයි අනසුයි ගෙනියන්න ඕනේ බඩු ගැන කතා කරලා අනිත් අයටත් ගෙන්න ඕනේ දේවල් බෙදලා දුන්නා.කොහොම හරි එදාට කලින් දවසේ අනස්ගේ යාළුවා එන්නේ නෑ කියපු නිසා අපේ office එකේ ක්‍රිශාන්ටත් එන්න කිව්වා. 3 ට විතර තමයි කොට්ටාවෙන් යන්න පිටත් උනෙ. මමත් තමාලිලයි ගෙදර ගිහින් අපි දෙන්නම ත්‍රීවීල් එකක ආවා කොට්ටාවට. ක්‍රිශානුත් යාලුවෙක්ගෙ ගෙදර ඉදන් එතනට ආවෙ හැබයි විනාඩි 10 ක් විතර පරක්කු වෙලා. ඉතින් රිටා මග දිගට බැන බැන යනවා වෙලාව වැරදුනා කියලා. මටයි තමාලිටයි හිනා.

අපි මීගමුවට ගිහින් අනසුයි, චතුයි, නිශියි, දාගෙන වේයන්ගොඩ පැත්තෙන් පිටාත් දාගෙන නුවර පාරෙන් හුන්නස්ගිරියට යන්න පිටත් උනා. කඩුගන්නාව කිට්ටුවදි උදේට තේ බිව්වා. අපේ අදහස උනේ දවල් 1.30 වෙද්දි මී මුරේ ට යන්න. දවල්ට කන්න කොහේවත් නවත්තන්නෙ නැතුව යන්න ඕනෙ නිසා අපි දවල්ට කන්න රොටි ගත්තා හුන්නස්ගිරියෙන්. පොල් රොටියි කොච්චි සම්බලුයි. වෙලාවෙ හැටියට ඔක්කොම පොර කකා කෑවා අනස් ඇරෙන්න. අනස් කෑවෙ මිරිස් සැර වැඩි වෙයි කියලා බයෙන් බයෙන්.

හුන්නස්ගිරියෙ ඉදන් මී මුරේ ට යන්න තිව්නෙ බොහොම දුශ්කර පාරක්. වාහන දෙකක් මාරු වෙන්න හරිම අමාරුයි. ඒ වගේම ලොකු වලවල්. ගොඩක් වෙලාවට අනසුයි ක්‍රිශානුයි බැහල ගිහින් පාර බලනවා. බොහොම පරිස්සමෙන් තමයි ඒ ටික ගියේ.













කොහොම හරි එක අන්තිමට phones වලට සිග්නල් තියෙන තැනින් බැහැලා ගෙවල් වලට කතා කරා. ආයෙත් තේ බොන්න, ඒ ගමේ තිව්න පොඩි කඩයක් ගාවින් නැවැත්තුවා.එතනින් තේ බීලා එහෙම ආයෙත් යන්න පටන් ගත්තා. අපි හවස 2.30 වගෙ වෙද්දි අපේ ගමනාන්තයට ආවා.














ගමනාන්තය කිව්වට වාහනේක යන්න පුලුවන් දුර ඉවර කරා. අනස් කලින් ගිහින් තිව්න නිසා ගමේ ගෙදරක් අදුරනවා. එහෙන් අපේ වෑන් එක දාලා අපිට අවශ්‍ය බඩු මලුත් උස්සන් ලකේගල කන්ද නගින්න පටන් ගත්තා.








හැමෝම ගාව බඩු ගොඩයි. බුමිතෙල් ලිප, tent දෙක, කන බොන දේවල්, ලණු, ඇදුම්, පොල් කටු වගේ ගොඩක් දේවල්. අපිට අපේ වාහනේ ළග ඉදන් 2 km වගේ යන්න තිබුනා කන්ද පාමුලට. එතන ඉදන් වතුර පාරවල් දිගේ, ගස් වැල් අස්සෙන් රිංග රිංග තමයි යන්න තිව්නෙ. එදා එහෙට වැස්ස නෑ. ඒ නිසා අපිට තිව්න ලොකුම හිසරදයක් අඩු උනා. කැලේ ඇතුලට යද්දී කූඩැල්ලො දෙතුන් දෙනා එල්ලුනා. කූඩැල්ලොත් අයින් කර කර ඉතින් හෙමින් හෙමින් කන්ද නැග්ගා. හෙමින් කිව්වට හෙමින්ම නෙවෙයි අපි පැය 2ක් ඇතුලත කුඩාරම් ගහන්න තැනක් හොයාගන්න ඕනේ නිසා ටිකක් වේගෙන් ගියා. ඔහොම යද්දී මගේ bag එක බර වැඩි නිසාද මන්දා මට ගොඩක් මහන්සි උනා. තව නම් අඩියක් වත් යාගන්න හයියක් තිව්නෙ නෑ. පිටා මගේ අතේ තිව්න කැමරාව අතට ගත්තා. අනස් එයාගේ බර bag එකත් එක්කම මගේ බර bag එකත් උස්සගත්තා. තමාලි අනස් අතේ තිබුණ බුමිතෙල් ලිප අතට ගත්තා. ටික දුරක් යනකං මම අතේ මුකුත් නැතුව නැග්ගා ඒ කට්ටියට පින් සිද්ද වෙන්න. ඒකෙන් ටිකක් හයිය ඇවිත් ආයෙත් bag එක අතට ගත්තා. කැමරාවට මොනවා උනාද කියලා මතක නෑ. නැවතුන තැන නම් ඒක තිබුණා.









අපි වතුර පාරක් ගලාගෙන යන තැනක කණ්ඩියක් උඩට වෙන්න අපේ කුඩාරම් ටික ගහන්න තෝරාගත්තා රෑ වෙන්න කලින්. එතන ටිකක් සුද්ද කරලා පොළව සමතලා කරගත්තා. පිරිමි ළමයි ටික tent ටික ගහන කම් ගැහැණු ළමයි දර හොයන්න ගත්තා ගිනි මැලයක් ගහන්න කළුවර වැටෙන්න කලින්.





දර හොයල ඉවර වෙලා රෑට කෑම හදන්න එළවලු කැපුවා. අපිට ලොකුම ප්‍රශ්නේ උනේ තෙත දර වලින් ගිනි මැලය පත්තු කරගන්න එක. බුමිතෙල් තිබුණත් දර ඇවිලෙන්න ගොඩක් වෙලා ගියා. එත් කොහොම හරි කළුවර වැටෙන්න කලින් ගිනි මැලය අවුළුවා ගන්න අපිට පුළුවන් උනා.














බූමිතෙල් ලිප අරන් ගිය නිසා උයන්න අමාරුවක් උනේ නැහැ. අපි එළවලු දාලා නුඩ්ල්ස් හැදුවා. තව ඇපල්, පිපිඤ්ඤා කපලා ගත්තා. අනස් මස් හැදුවා. ඔක්කොම ලේස්ති කරලා අපි ඇඟ සෝද ගත්තේ අයිස් වගේ සීතල වතුරෙන්. ඒ වෙලාවේ හැටියට පුදුමාකාර බඩගින්නක් තිබුනේ හොදටම මහන්සි වෙලා හිටපු නිසා. කට්ටියම බඩ පිරෙන්න කෑවා. ඒ අස්සේ පිටාට පුෂ් ගාන සද්දෙකුත් ඇහුණා ;). ගැහැණු ළමයි ටික කලින්ම තෝර ගත්තු කුඩාරමට ගිහිං හොඳට නිදාගෙන ඇහැරෙද්දී ටිකක් එළිය වැටිලා.

උදේට කන්න හදන්න තිබුනේ මඤ්ඤාක්කා. අපි ඉතිං වතුර පාර ගාවට ගිහිං මඤ්ඤාක්කා සුද්ද කරා. ඒ අතරෙදි ක්‍රිෂාන් තේ හැදුවා. මමයි පිටයි ඡයාරූප පාඩමක් කරා ;). අපි ළූණු එක්ක චිලි පේස්ට් එකතු කරලා සම්බලක් හැදුවා මඤ්ඤාක්කා කන්න.






















මොනවා උනත් කට්ටියගෙන් ඉහලම ප්‍රතිචාර ලැබුණා ඒ කෑම වේලට. අනස් සීනී දාගෙන ගොඩාක් සැරට කෑවා ;).








ඊට පස්සේ අපි ගඟ උඩට ගියා නාන්න පුළුවන් තැනක් හොයාගන්න. ඇත්තටම අපේ ඇස් අදහා ගන්න බැරි උනා ඒ ලස්සන දැකලා. අපි ගල් උඩින් පැන පැන ටිකක් උඩටම ගියා. ගොඩාක් නිස්කලංක ගොඩක් ලස්සන තැනක්. ඒ හරිය එච්චරටම ලස්සන වෙලා ඇත්තේ මිනුස්සු වැඩිය ඇ පැත්තේ නොයන නිසා වෙන්න ඇති. තාම මිනිස් පුළුටක් නොගැටිච්ච මීටත් වඩා ලස්සන තැන් ලංකාවේ තව කොච්චර ඇත්ද කියලයි මට හිතුනේ.

















අපි හිතේ හැටියට නා ගත්තා. ඒ හරියේ විශේෂත්වය උනේ පුංචි උසකින් වැටෙන දියපාරවල්. ඒ නිසා ගිලෙයි කියලා බයක් නැහැ. දණහිස මට්ටම වගේ තමයි වතුර. ඒත් ගල් නිසා අපේ කව්රුවත් වැඩිය ඈතට ගියේ නැහැ. බොහොම පරිස්සමින් තමයි අපි සතුටු උනේ.














අපි ආයෙත් කුඩාරම් තිබුණු තැනට ඇවිත් ඔක්කොම අස් පස් කරලා ආපහු යන්න ලේස්ති උනා. ඒ වෙද්දී කාගේත් හිතේ තිබුණේ අයියෝ අපි ආයෙත් ඝෝෂාවෙන් පිරිලා ඉතිරිලා ගිය,කලබලෙන් එහෙට මෙහෙට දුවන්න වෙන ලෝකයට යන්න අකමැත්තක්. ඒත් අපේ ජීවිතය ඒක නිසා ආයේ එන්න උනා. එන්න කලින් අපි හිටපු තැන, අපි එන්න කලින් තිබුණ විදිහටම අපි හැදුවා. අඩුමගානේ එක කඩදාසි කොලයක් වත් එතන දාලා නොඑන්න අපි වග බලාගත්තා.















ඉතිං අනස් ඇරෙන්න ගියපු හැමෝගේම ජීවිතේටම විඳලා නොතිබුණ අත්දැකීමක් විඳගන්න ලැබුණේ අනස් නිසා. ගියපු හැමෝම අනස්ට ස්තූති කරා මේ වගේ දෙයක් plan කරාට. ඒ වගේම රීටා අපිව පරිස්සමින් එක්කන් ගිහිං ආයෙත් පරිස්සමින් එක්කන් ආවා. එච්චර දුරක් වාහනයක් අරන් ගිහිං ඒ මහන්සියත් එක්කම එක දිගටම වාහනයක් පදින එක ලේසි නෑ. ඒ ඇරෙන්න ගියපු හැමෝම එක එක්කෙනාට උදව් කරගෙන සහයෝගෙන් වැඩ කරපු නිසා කාටවත් කිසිම කරදරයක් නොවී ආපහු එන්න පුළුවන් උනා. කූඩැල්ලො කාපු ඒවා නම් තාම රිදෙනව

අපි ආපහු එනකන් කිය කිය ආවේ "ජීවිතය ඉතිං අපේ සිහිනයාක් නොවේ. හෙට උදේම අවදි වී යා යුතුව තිබේ..." සිංදුව ;)
ආ.. අනස් එන ගමනේදී සංගීත ප්‍රසංගයකුත් පැවැත්තුවා."ස්තුතියි..තියි තියි..තියි.., මීලගට ට ට..ට.. සුනිල් ටී ටී..ටී..." ;)




අපිත් එක්ක යන්න එන්න අහපු උපේක්ශ්‍යා, උත්පලාවී දෙන්නට එන්න ඉඩක් නොතිබුණු එකට ගොඩක් කණගාටු වෙනවා. ඒ වගේම තාරා. ඒත් අපිට වෙන කරන්න දෙඅක් තිබුනේ නෑ කණ්ඩායමක් විදිහට පටන් ගත්තු වැඩේ ඉවර කරනවා මිසක. ඉතිං අපි දැකපු දේවල් බොහොමයි. ඒක වචන වලින් විස්තර කරන්න ගොඩාක් අමාරුයි. ආයෙත් ගොඩක් අයත් එකතු කරන් මේ වගේ සුන්දර ගමනක් යන්න අපි හැමෝටම ඉඩ ලැබෙන්නත් මේ සහෝදරකම් හැමදාම එක විදිහටම තියෙන්න කියලත් මම හදවතින්ම පාර්ථනා කරනවා.

ඡයාරූප අනුග්‍රහය පිටා සහ මගෙන්..






මේක ලැබුණේ අනස්ගෙන්...



Sunday, January 31, 2016

මුදලින් මැනිය නොහැකි මිනිසත් බව



දවසක් ඔන්න මම මගේ සුපුරුදු බෑග් එකත් උස්සගෙන ගමනක් යනවා. මගේ බෑග් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බරම බරයි. හැමදාම ඒක එහෙමයි (දන්නෝ දනිති). ඔන්න මම බස් එකකට ගොඩ උනා. එතකොට වෙලාව උදේ 8 ට විතර ඇති. කට කපලා සෙනඟ. මට බස් එකේ foot board එකෙන් උඩට නැග ගන්න විතරයි පුළුවන්. මගේ බෑග් එක කරෙන් පහලට අරගෙන උස්සගත්තා මම. එක අතකින් කණුවක් අල්ලාගෙන අනිත් අතෙන් බෑග් එක එල්ලගත්තා. මගේ අත්දැකීම් වල විදිහට බස් වල වාඩි වෙලා ඉන්න, clean suits ගහල make up දාල, සුවඳ ගහ ගහ වැඩට යන අය නම් ගොඩක් අඩුවෙන් තමයි බර බෑග් එකක් අතට ගන්නේ. මම ඉතින් තත්වේ දන්නා නිසා කාටවත් දෙන්න ගියෙත් නෑ. දෙන්න ඉඩක් තිව්නෙත් නෑ. උඩට උස්සල දෙන්න ගිය නම් 90% ක් විතර ශක්තිය වැය වෙලා කලන්තේ දාලත් වැටෙන්න තිව්නා. කොන්දොස්තර අයියා මම අමාරුවෙන් උස්සන් ඉන්න බෑග් එක දැක්කා. එයා foot board එකේ හිටියේ. දැක්ක ගමන් එයාගේ කකුල උඩට මගේ බෑග් එකේ බර එන විදිහට කකුල තියාගත්තා. මම උඩින් එල්ල ගෙන, ඒත් එයාගේ කකුල උඩ තමයි මගේ බෑග් එකේ සංපූර්ණ බර. මට පුදුමයි. අනේ අර බස් එකේ වාඩි වෙලා යන කව්රුත් බෑග් ගන්නේ නෑ. ඒත් අර මනුස්සයා ඒ වෙලාවේ හැටියට මට කරේ කියන්න බැරි තරම් උදව්වක්. මට හිතුනේ දුක විදලා තියෙන මනුස්සයා ට විතරයි අනිත් මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ කියලා. දුක් විදින මිනිහා විතරයි දන්නේ අනිත් මිනිහගේ දුක. තත්වය යි , රස්සාවයි මිනිස්සුන්ගේ මනුස්සකම නැති කරනවාදෝ කියලත් මට වෙලාවකට හිතෙනවා.

පාරේ ඉන්න දුප්පත් මනුස්සයෙක් හදිසියෙවත් වැටුනොත් කවදාවත් වැදගත් විදිහට ඇඳන් ඉන්න මහත්තයෙක් කවදාවත් නැවතිලා උස්සන්න යන්නේ නෑ. ඒ උස්සන්න බැරි කම නිසා නෙවෙයි තත්වෙට හරි නැති නිසා. ඒත් අසරණ මනුස්සයෙක්ට උදව් කරන්න බැරි තත්වයෙන් ඇති වැඩේ මොකද්ද?? ඒ උගත්කමෙන් ඇති වැඩේ මොකද්ද. අපිට උගන්නන්න ඒ මනුස්සයා බීපු තේ කෝප්පෙනුත් කීයක් හරි දායක වෙන්න ඇති කියලා අමතක වෙන තත්වෙන් ඇති ඵලේ මොකද්ද?? පාර පනින්න ගියාම සුපිරි කාර් නවත්තලා පාර පනින්න ඉඩ දෙන්නේ බොහොම අඩුවෙන්. එත් මගේ අත්දැකීමේ හැටියට ත්‍රීරෝද රථ නම් ඕනේ වෙලාවක ඉඩ දෙනවා. ඒ වාහනේ පොඩි නිසාද ඒ මනුස්සයාගේ හිත හොඳ කම නිසාද කියලා මම දන්නේ නෑ.

තවත් දවසක් මම උදේ පාන්දර ගෙදර යන දවසක මට නිකන් වමනේ යන්න වගේ. කෝකටත් කියල සිලිං බෑග් එකක් ගන්න කියල රුපියල් පහකුත් අතේ තියන් පිටකොටුවේ ඇපල් කඩේකට ගියා. එත් අවුරුදු 35 ක වගේ මනුස්සයෙක්. අනේ සිලිං බෑග් දෙකක් දීලා සල්ලි ගත්තෙත් නැහැ. මම ඉතින් ස්තුති කරලා බස් එකට නැග්ගා. මම වෙන ලොකු කඩේකට ගියා නම් මොකද්ද වෙන්නේ කියල මම හොදටම දන්නවා. Clean suits ඇඳපු, ලාච්චුව පිරින්න සල්ලි තියෙන කඩවල් වල මුදලාලිලාට වඩා වැදගත්කමක් මම ඒ මුදලාලිගෙන් දැක්කා. Clean suits ඇඳපු හැමෝම මෙහෙමයි කියනවා නෙවෙයි. ගොඩක් අය පොළවේ පය ගහල ඉන්න අය නෙවයි. ගොඩක් අය ඇවිත් තියෙන්නේත් පහලම තැනක ඉදලයි. ඒත් පුප්පන ගතිය, මාන්නේ, සහ පොළවෙන් උඩ ඉන්න ගතිය ලොකුයි කියන රැකියාවත් එක්ක වෙන දෙයක්ද, සමාජේ වැරද්දක්ද, සිතුවිලි වල වරදක්ද, ඉගෙන ගෙන තියෙන විදිහේ වැරද්දක්ද, එහෙම නැත්නම් වෙන දෙයක්ද කියලත් මම නම් දන්නේ නෑ. මම ගාවත් ගොඩක් වැරදි ඇති. ඒත් මම ගොඩාක් අයට උදව් කරනවා හොඳ හිතින් කියල මම දන්නවා.

මේක මම අහපු ලංකාවේ වෙච්ච ඇත්ත කතාවක්.
ස්කොලේ යන කාලේ නාහෙට අහන්නේ නැති මහා ඇට්ටර ළමයෙක් හිටිය සිරිසේන කියලා. සිරිසේන ට වැඩිය ඉගෙන ගන්නත් බැහැ. ඉතින් ස්කොලේ ගුරුවරුනුත් මේ ළමයට කැමති නැති නිසා හරියට එක එක ඒවා කියනවා. එත් එකම එක මිස් කෙනෙක් විතරක් මේ සිරිසේන ට ආදරෙයි. පුතේ කියල කතා කරනවා. කවදාවත් බනින්නේ නැහැ. ආදරෙන් සලකනවා. දැක්ක තැන කතා කරනවා. ඉතින් මෙහෙම ස්කෝලේ ගිහින් ඉවර උනාට පස්සේ මේ සිරිසේන ත්‍රීවීල් එකක් අරන් ඉතින් හයර් යනවා. ඒකෙන් එදා වේල හම්බ කරන් හිටිය. ටික දවසකින් මෙයාගේ ස්කොලේ යාළුවොන්ට ආරංචි වෙලා මෙයා ඒ ත්‍රීවීල් එකත් විකුණලා කියල. ඉතින් යාළුවොත් දුක් වෙලා හරියට ඉගෙන ගන්න බැරි උන නිසා පාලනයක් නෑ කියල. එත් දවසක් එක යාළුවෙක් ට මේ සිරිසේන මුණ ගැහිලා විස්තර අහල. දැන් මොකද කරන්නේ ඒවා මේවා. එතකොට මේ සිරිසේන කියල තියෙනවා “උඹට මතකද අර මට හරිම ආදරේ මිස් කෙනෙක් හිටියා, එයාගේ වකුගඩු දෙකම නරක් වෙලා සනීප නැතුව හිටියා. එයාට වකුගඩුවක් අරන් දෙන්න මම මගේ ත්‍රීවීල් එක වික්ක බන්. මොනවා උනත් මට පුතේ කියල හරි ඒ දවස් වල කතා කරන්න හිටියේ ඒ මනුස්සයා විතරයි ” කියලා. ඉතිං‍ අර යාළුවටත් මොනවා කියන්නද කියල හිතාගන්න බැරි වෙලා. එයාල ඉගෙන ගත්තට සිරිසේන ගාව තිබුන මනුස්සකම ඉගෙන ගන්න අමතක වෙලා කියල එයාට හිතුනලු.




Wednesday, September 23, 2015

විරු අභිනන්දන -2014

අපේ කල්පිට පුදුම උණක් තිබුණනේ හමුදාවට යන්න. ඒ දවස් වල photo එකතු කරනවා කවි ලියනවා වැඩ ගොඩයි. ළග පාතකින් army බස් එකක් ගියත් ඉවරයි. කොහොම හරි යුද්ධෙත් ඉවර වෙලා කාලයක් ගත වෙලා තිව්න නිසා කාටත් හමුදාවේ අය ගැන අමතක වෙලා වගේ ගිහින්. ඉතින් අපි මුලින්ම කරේ අපි ඉගෙන ගත්තු ඉස්කෝලෙට කළගුණ සැලකීමනේ. ඊට පස්සේ අසරණ ලෙඩ වෙලා ඉන්න අය වෙනුවෙන් දෙයක් කරා. අපිට හිතුනා ඊ ලගට කරන්න ඕනේ හොදම වැඩේ රට වෙනුවෙන්, අපි වෙනුවෙන් ජීවිතේම කැප කරපු අපේ හමුදාවේ අය වෙනුවෙන් මොනවා හරි අපිට පුළුවන් දෙයක් කියලා.

ඉතින් මෙහෙම හිතල කට්ටියගේ අදහස් ඇහුවා මේ ගැන. කට්ටියම කැමති වුන නිසා හොයලා බැලුවා ලෙඩ වෙලා ඉන්න රණවිරුවෝ ඉන්න තැනක්. අපිට ඒකට උදව් කරේ කුමුදු අක්කා. එයා දන්න කෙනෙක්ගෙන් රාගම රණවිරු සෙවනේ දුරකථන අංකය අරගෙන කතා කරලා අහල තිබුණා අපිට ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. ඊට පස්සේ අපේ රසාලිත් කතා කරලා වැඩි විස්තර ඇහුවා. එයාල ගොඩක්ම කිව්වේ අපිට නිකංම පරිත්‍යාග භාර දීලා යනවට වඩා එයාලාගේ පාළුව යන්න පොඩි සංග්‍රහයක් එක්ක වැඩසටහනක් කරලා සින්දු එහෙම කියලා එයාලත් එක්ක කතා කරලා යන්න පුළුවන් නම් ගොඩක් හොදයි කියලා.

ඉතින් අපේ ඉස්කෝලේ අපේ batch එකේ අනිත් අයත් එක්ක කතා කරහම එයාලත් කැමති උනා. ඒත් අපිට වැඩසටහන සංවිධානය කරන්න පුළුවන් උනාට වැඩසටහන මෙහෙයවන්න පුහුණු වෙන්නවත් කාලයක් නැති එක ලොකු ප්‍රශ්නයක් උනා. හැමෝම ඉතින් රැකියා කරන්නේ විවිධ තැන්වල නිසා කාටවත් කලින් දවසක් දාගෙන එකතු වෙන්න පුළුවන් කමක් තිබුනේ නෑ. අපිට යන්න වෙන්නේ ගොඩක් අයට නිවාඩු තියෙන සති අන්තයක දවසක. ඒ නිසා අපි ඉරිදා දවස තෝර ගත්තා. ඒත් එදාට රණවිරු සෙවනේ වාදක කණ්ඩායම අපිට ලබාගන්න උනේ නැහැ. ඉතින් අපිට වාදකයෙකුත් ගෙනියන්න සිද්ද උනා. එයාව හොයාගන්න උදව් කරේ අපේ office එකේ රොහාන් අයියා. අපේ කැම්පස් එකේ නදීර සහ නිශාදිටත් හොදට සින්දු කියන්න පුළුවන් නිසා ඒ දෙන්නත් වැඩේට එකතු කරගත්තා. ඒ අතරේ අපි Facebook එක හරහා අපේ batch එකේ අනිත් අයව දැනුවත් කරා මේ ගැන කියලා. අපේ යහනි වෙනදා වගේම හොඳ නමක් දැම්මා “විරු අභිනන්දන” කියලා.







කලනි සහ යහනිට වැඩසටහන මෙහෙයවන නිවේදක කටයුතු භාර දුන්නා. නදීරට සිංදු හොයන වැඩ භාර දුන්නා. ඒ අතරේ අපි පරිත්‍යාග ටිකයි, සංග්‍රහ වැඩ ටිකයි කරගෙන ගියා. අපේ ඉස්කෝලෙන් ඉගෙන ගෙන දැන් පිටරට උසස් අධ්‍යාපනය හදාරන නිහාරි, මහේෂි, රුවන්දිමා අපිට මුදලින් ගොඩක් ආධාර කරා.
අපි පරිත්‍යාග වලට දෙන්න සකස් කරේ සුදු ඇඳ රෙදි. අපිට සුදු ඇඳ රෙදි 100 ක් ගන්න පුළුවන් උනා ඒ වෙනකොට එකතු වෙලා තිබුණු සල්ලි වලින්. අපි ඒවා ගත්තු කඩෙන් ලොකු පෙට්ටි දෙකකට දාලා ත්‍රී වීල් එකටම ගෙනත් දුන්නා දෙන්නෙක්. ඒත් ත්‍රී වීල් එකෙන් ඒවා අරගෙන දුන්නේ ත්‍රී වීල් එකේ ආපු driver මාමා. ඒ පෙට්ටි උස්සන්න ගිහින් වැටෙන්නත් ගියා ඒ මාමා. ඉතින් ඒ මාමාටත් ගොඩක් ස්තූති කරා අපි අපේ කිසිම ඉල්ලීමක් නැතුව අපිට උදව් කරාට.

එදාට ඒ අයට සංග්‍රහ කරන්නත් අපේ අය ගොඩක් කැමැත්තෙන් එක එක ඒවා භාර ගත්තා. සමහරු මහන්සි වෙලා තමන්ගේ අතින්ම හදපු කෑම ගාල්ලේ ඉදන්ම අරන් ආවා.
ඉතින් ඔන්න කට්ටියම බලාගෙන හිටපු දවස ආවා. අපි කොළඹ ඉදන් යන අය වාහනයක් කතා කරගත්තා රාගමට යන්න. ගාල්ලේ ඉදන් එන අයයි, නදීරයි, නිශාදියි එතනටම ආවා. අපේ කැම්පස් එකේ රුසිරුත් කොහොම හරි කතා කරගත්තා. කලනිත් ගුවන් සේවිකාවක් උනත් එදාට සහභාගී වෙන්න ලංකාවේ හිටියා හොඳ වෙලාවට. අපේ office එකේ අමල් අයියයි දිනුෂි අක්කයිත් එතනටම එනවා කිව්වා.

කට්ටියම ආවට පස්සේ වැඩේ පටන් ගත්තා. අපි ආවට ස්තූති කරලා අපිව පිළිගත්තේ එතන භාරව ඉන්න ජනරාල්තුමා.ඊට පස්සේ නදීර මුලින්ම අම්මා ගැන සින්දුවක් කියලා හොද ආරම්භයක් ගත්තා.කලින් පුහුණු නොවුනත් යහනියි කලනියි නිවේදක කටයුතූ හොදින් කරගෙන ගියා. රණවිරුවොත් එක්ක එයාලගේ අත්දැකීම් කතා කර කර එයාලගේ ගීත ඉල්ලීම්නුත් ඉටු කරලා එයාලටත් සින්දු කියන්න අවස්ථාව දුන්නා. අතරින් පතර අඩු පාඩුත් නොවුන නෙවෙයි. ඒත් අපි හැමදෙයින්ම අපේ රණවිරුවෝ සතුටු කරන්න ගොඩක් මහන්සි ගත්තා අපිට පුළුවන් තරමින්. වේදිකාවේ ඉදන් සින්දු කියන්න ගීත ඉල්ලීම් දෙන්න නදීර, නිශාදි, ගයන්ති, චරිතා, උපේක්ෂ්‍යා සහ අපේ වාදකයා මහන්සි ගත්තා.



















ඒ වගේම ඒ අයට ගී පද හොයලා දුන්නේ ඉසුරියි රුසිරුයි. අමල් අයියයි, අමිතමල් අයියයි තමයි අපේ වැඩසටහනේ ඔක්කොම photos ගත්තේ.














රෝද පුටු වල හිටපු අයියල දෙන්නෙක් එක සිංදුවකට නැටුවා එයාලගේ රෝද පුටු වලම ඉදන්. එයාලගේ කකුල් නැති උනත් හිතේ දහිරියෙන් නටන හැටි දැකලා අපි හැමෝගෙම ඇස් වල කදුළු පිරුණා. ඒ අයගේ දස්කම් බලන්න අපි මෙතනට ආපු එකම කොච්චර ලොකු දෙයක් දෝ කියලා අපි හැමෝටම හිතුනා.




මේ හැමදේම වෙන අතරේ පියුම්නිලා සංග්‍රහ කටයුතු හොයලා බැලුවා.








අන්තිමට අපි ආධාරත් භාර දීලා අපි ඔක්කොම වේදිකාව උඩට ගිහින් කණ්ඩායම් ගීතයකුත් කිව්වා. අපි හැමෝටම හරිම සතුටුයි අපිට මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුනු එක ගැන.




වැඩසටහන ඉවර වෙලා යන්න ලේස්ති වෙනකොට අපි හැමෝටම ඒ අය අතට අත දීලා බොහොම ස්තුති කරා එයාලා බලන්න ආවට. ඒ වෙලාවේදී මම අතට අත දෙන්න ගියපු කෙනෙක් ගේ දකුණු අත තිබුනේ නෑ. තිබුනේ පොඩි කෑල්ලක් විතරයි. මම පත්වෙච්ච අපහසුතාවය දැකපු ඒ අයිය කියනවා “ඔහොම තමයි නේද ජීවිතේ” කියලා. ඇස් වලට ආපු කදුළු හංගන්න පුළුවන් කමක් උනෙත් නෑ. ඒත් ඒ අය ඉස්සරහ අඩන්නත් බෑ. බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා. අපි වෙනුවෙන් රට වෙනුවෙන් සටන් කරලා අපිට නිදහසේ එහා මෙහා යන්න ඉඩ හදල දීපු මිනිසුන්ට අද අත පය වත් නෑ නේද කියලා අපිට හිතුනා ඒ අය දැක්කම.






සංගීත වැඩසටහන ඉවර කරලා අපි ගියේ එතනට එන්න බැරුව ඇඳ උඩටම වෙලා ඉන්න රණවිරුවෝ බලන්න. ඒ අය දැක්කම ඇති වෙච්ච හැගීම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. දුක, ගෞරවය ඒ වගේම. යන්න එන්න බැරුව, ඇවිද ගන්න බැරුව මුළු ජීවිතේම ඇඳක් උඩට වෙලා ඉන්න වෙලා තියෙන්නේ අපිට නිදහසේ ජීවත් වෙලා ඉන්න රටක් ඉතුරු කරලා දෙන්න ගියපු නිසා නේද කියලා ලොකු ණය බරක් හිතට දැනුනා. අපි ඒ අයත් එක්ක විස්තර කතා කරා. ගොඩක් අයගේ ගෙවල් වලින් එන්නේ මාසෙකට සැරයක් වගේ කිව්වා. මේ අයට ඉතින් ගෙදර යන්නත් බෑ නෙ. ඉතින් ගොඩක් පාලුවෙන් තමයි ඉන්නවා ඇත්තේ. අපිට මෙහෙම හරි දවසක් එන්න පුළුවන් වුනු එක ගැන අපේ හැමෝම සතුටෙන් කතා කරා.


ඉතින් මෙන්න මේ විදිහට අපි එකතු කරගත්තු ලක්ෂෙකට විතර ආසන්න මුදලෙන් මේ වගේ දෙයක් කරලා එයාලටත් හිනාවක් දීලා ඒ හිනාවෙන් අපිටත් සතුටක් ලබන්න පුළුවන් වුණා. දැනුත් ඒ ගැන හිතනකොට ගොඩක් ආඩම්බරයි අපේ යාළුවෝ ගැන. මොකද අපි විතරක් කාල බීල හිනා වෙලා නටල ඉන්නවට වඩා තවත් කෙනෙක්ටත් හිනාවක් දෙන්න හදන ඒ වගේ අය අඩුයි අද. ඉතින් මගෙත් පරණ පිනකට ලැබිල ඉන්න යාළුවෝ ටිකත් එක්ක ඊළග පාර කරන දේගැන හිත හිත අපි එදා කෝච්චියෙන් ආපහු කොළඹ ආවා.

වෙනදා විදිහටම මේ වැඩේටත් එන්න පුළුවන් උනේ ටික දෙනාටයි. ඒත් අපිට උදව් කරපු අය බොහොමයි. ඒ හැමෝටම අපි කරගත්තු සියලුම පිං අනුමෝදන් වේවා. ඉදිරියටත් මෙවන් වැඩ කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා හද පතුලෙන්ම පාර්ථනා කරනවා..