Thursday, June 4, 2026

අප නොහඳුනන හදවතක, තවමත් ජීවත්වන ඇය

අපේ අක්කා තමයි මේ කතාව කිව්වෙ. අපේ අක්කගෙ ඉස්කොලේ මොකද්ද seminar එකක් තිබුණා කිව්වා. මොකද්ද seminar  එක කියල මට මතක නැහැ.


කොහොම හරි ඒකට ගොඩක් සම්පත් දායකයො ඇවිල්ල හිටියලු කතා කරන්න. දැන් ඒකට ආපු එක සර් කෙනෙක් කතා කරන් යනවලු ඒ සර්ට පොඩි කාලෙ වෙච්ච සිදුවීමක්. අපේ අක්කලත් අයිනක වාඩි වෙලා අහගෙන ඉන්නවලු. ඒ සර් පොඩි කාලෙ එක වසරෙ ඉන්න කොට, සර් දකිනවලු එයාගෙ පන්ති භාර ටීචර් සමහර ළමයින්ට හරි ආදරෙයි කියලා. ඉතින් එයාටත් එහෙම ආදරේ ලබන්න ආසාවක් ඇති වෙලා, එයාගෙ ගෙදර තිබුණ අඹ ගහක හැදිච්ච මුල්ම අඹ ගෙඩිය අරන් ගියාලු ටීචර්ට දෙන්න. 


ඒ අරන් ගිහින් ටීචර් ට කියන්න ඕනෙ වුණාලු, මම අපේ ගෙදර හැදුන මුල්ම අඹ ගහේ මුල්ම ගෙඩිය ටීචර්ට ගෙනාව කියලා කියන්න. ඒ වුණාට එයා පොඩි නිසා එයාට කියවුණේ, අපේ ගෙදර අඹ ගහේ ගොඩක් ගෙඩි හැදුනට එක ගෙඩියක් ටීචර්ට ගෙනාවා කියල වගේ දෙයක් ලු. ඒකට ටීචර්ගෙ හිත හොඳටම නරක් වුණාලු. ආදරේ ලබන්න අඹ ගෙඩියක් ගිහින් දුන්නට, වුණේ ඒකෙ අනිත් පැත්තලු. ටීචර් මෙයාට තදින් වෙනස් කම් කරන්න ගත්තාලු. ඉතින් මෙයාට ඒ පන්තියෙ ඉන්න එකත්, ඉස්කොලෙත්, ඉගෙන ගන්නත් ඔක්කොම එපා වුණාලු. 


මෙහෙම ඉන්න අතරෙ මෙයාලව දෙක වසරට පාස් වෙලා. දෙක වසර පන්තියට අලුතෙන් අබේනායක කියලා ටීචර් කෙනෙක් ආවලු. ඒ ටීචර් හරිම හොඳයි ලු. ඉතින් ඒ ටීචර් නිසා මෙයාට ආයෙ ඉගෙන ගන්න ආස වෙලා. එයාගෙ ජීවිතේම වෙනස් වුණා කිව්වලු. අද මෙහෙම කතා කරන්න ලොකුම උදව්වක් වුණේ ඒ ටීචර් කිව්වලු. ඒ ටීචර් හිටියේ පොල් පොල් තවාන හරියේ, දැන් ඒ ටීචර් නැති වෙලා.. එහෙම එහෙම කියාගෙන යද්දි අපේ අක්කට හීනෙන් වගේ මතක් වෙලා, හප්පා... මේ අපේ අම්ම ගැනනෙ කියන්නෙ කියලා. අපේ අක්ක ළග හිටපු වැඩිහිටි ටීචර් කෙනෙක්ගෙ කණට කරල කිව්වලු, මිස්, මේ අපේ අම්ම ගැන කියන්නෙ කියලා. කණට කරල කියපු එක කොච්චර හොඳට කිව්වද කියනව නම්, ඒක ඒ සර්ට ඇහිලා. ආහ්.. ඒ මේ මිස් ගෙ අම්මද කියලා. ඒ සර් අහලා. අපේ අක්කත් ඉතින් පැනල උත්තර දීලා ඔව් කියලා. හොඳයි කිව්වලු. මම හිතන්නෙ අපේ අක්කට ඊට පස්සෙ කියපු ඒවා ඇහිලා නෑ.


අපේ අක්කට හරිම ආඩම්බර හිතිලා ඒ වෙලාවෙ.කොහොම හරි අක්ක මේක මට කියද්දි මටත් හරිම සතුටුයි . මොකද මම අපේ අම්ම හරිම හොඳ කෙනෙක් කියලා ගමේ අය කියනවා අහල තිබුණට මම දැනගෙන හිටියෙ නැහැ හොඳ ටීචර් කෙනෙක් කියලා. අනික ඉතින්, ගමේ අය ජීවත් වෙලා නැති කෙනෙක් ගැන නරකක් කියයි කියලාත් හිතන්න බෑනෙ. මේක තමයි පළවෙනි වතාව මම අම්මගෙ රස්සාව ගැන ගෝලයෙක්ගෙන් මෙහෙම අහපු. ඒකත් මෙහෙම අහම්බෙන්. අම්ම නැති වෙලත් අවුරුදු 36 ක් දැනට. එච්චර කාලයක් වෙලත් අර සර්ට අපේ අම්මව මතක තියෙනව කියන්නේ ඉතින් ඒක එයාගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙච්ච සිදුවීමක් වෙන්න ඇති. අපේ අක්කටවත් අපේ අම්මා ගැන පොඩි මතකයක්වත් තියෙනවද මම දන්නේ නැහැ. මට නම් කොහෙත්ම මතකයක් නැහැ. එහෙව් එකේ මේ වගේ මතකයක්, අපි අඳුරන්නෙවත් නැති කෙනෙක්ගෙන් අහන්න ලැබිච්ච එකත් ගොඩක් ලොකු දෙයක්.  මම මගේ තියෙන සමහර ගතිගුණ අපේ තාත්තගෙ ගතිගුණ වලට බොහෝම සමානයි කියලා මම  දන්නවා වුණාට අපේ අම්මගෙ ගතිගුණ කොහොමද කියලා දන්නෙ නෑ. මොනා වුණත් හරිම සතුටුයි  මෙහෙම  මේ වගේ දෙයක් අහන්න ලැබුන එක.


අපිට අම්මා ගැන පොඩි මතකයක්වත් නැහැ. එයා කොහොම කෙනෙක්ද, කොහොම ගුරුවරියක්ද කියලා දැනගන්න විදිහක් තිබුණෙත් නැහැ. ඒත් මේ කතාව අහද්දි හිතුණේ, අපිට නොලැබුණු අම්මාගෙන්, වෙන කෙනෙකුගේ ජීවිතේට කොච්චර ලොකු බලපෑමක් වෙලා තියෙනවද කියලා.


අපිට මතකයක් නැති කෙනෙක්, තව කෙනෙක්ගේ හිතේ අවුරුදු 35 කටත් වැඩි කාලයක් ගියත් අමතක නොවෙන තරම් සෙනෙහසක් ඉතුරු කරලා තියෙනවා කියන එක හිතට ලොකු සතුටක්. සමහරවිට අපිට අහිමි වුණ දේවල් ගැන අපි නොදන්න කතා ගොඩක් ඇති. ඒත් අහම්බෙන් වගේ ඇහෙන මෙහෙම කතාවක්, අම්මා ගැන අලුත් විදිහට දැනගන්න ලැබුණු තෑග්ගක් වගේ.


අපිට නොලැබුණු ආදරයක්, වෙන කෙනෙක්ගේ ජීවිතේට ආලෝකයක් වෙලා තිබුණා කියලා දැනගන්න ලැබුණ එක ඇත්තටම හිත පිරෙන සතුටක්. 


මෙච්චර කාලයක් අපේ අම්ම ගැන ඒ ගුරු ගෞරවය හිතේ තියාගෙන ඉඳලා, මොකද්දෝ හේතුවකට අපේ අක්කා ඉස්සරහම ඒ කතාව කියන්න හිතුණු සර්ටත් බොහොම පිං.


Monday, June 1, 2026

හිත තවමත් ලංකාවේ !

ලංකාවෙන් එපිට, පිටරටක ඉන්නවා කියන්නෙ එක අතකින් වේදනාවක්. ඒක තේරෙන්න ඉතින් ටිකක් එළියට ඇවිල්ල ටික කාලයක් ජීවත් වෙන්න ඕනෙ. දැන්නෙ තේරෙන්නෙ විස්තරේ. මේ cream ගෑවිල්ලයි, ගෙවල් දොරවල් අස් පස් කරන එකයි, අල්ලපු ගෙවල් වලට බයේ ඉන්න එකයි, bathroom වල වතුර ගෑවෙන්නෙ නැතුව ඉන්න එකයි, පිළිවෙලකට ඉන්න උත්සාහ කරන එකයි ඉතින් ඇත්තටම මහම මහ වදයක්. නිදහසේ උයන්න බැහැ කෑම සුවඳ ගේ ඇතුලෙ. ඊට හපන් සීත කාලෙට ඇදුම් තුන හතරක් ඇදන් එළියට යන එක. හප්පේ.  Glouseදා ගත්තෙ නැත්නම් ඉතින් ඉවරයි. බැරි වෙලාවත් කාළගුණේ බලන්නෙ නැතුව එළියට බැස්සොත් අබ සරණයි. එහෙමද ලංකාවෙ, රබර් සෙරෙප්පු දෙකක් දා ගත්තා, ඕන ඇදුමක් ඇදගත්තා, ඕන වෙලාවක එළියට බැස්සා. සයිවර් කඩේකින් කොත්තුවක් කාලා,  tea එකක් බිව්වාම ඉතින් ඊළඟ දවසෙ උදේ ගැන විතරයි බය. සීබ්‍රා ක්‍රොසින්ග්ස් වලින්ම පාර පැනල හරි මහන්සියි දැන්. මම drive කරේ නැති උනත්, පාරක යද්දි ඉරක් එහෙම කපලා නිදහසේ යන්න තියෙන්න ඕනෙ මන් නම් කියන්නෙ. 

ළගදි ලංකාවට ගිහින් ආපු අයියා කෙනෙක්ගෙන් මේ කතාව ඇහුවෙ මන්. මොනව උනත් ළඟදි අහපු මසුරන් කතාව.  Lindt chocolate එකක් දාන්න ඕනෙ මේ කියපු කටට. ලංකාවට ගිය ගමන් ගෙදර අඩු පාඩු පේන්නා ගන්නවාලු. Bathroom එහෙම පිළිවෙල නැහැ. Body wash, අර wash  මේ wash නැහැ. Bathroom එකටම තියෙන්නෙ එක life boy සබන් කෑල්ලක් විතරයි. ඔහොම ටික දවසක් ඉදලා ආපහු එන්න කිට්ටු වෙද්දි අර ගෙම්බෙක් ඉන්න bathroom  එකේ, තියෙන එකම එක life boy සබන් කෑල්ල ගාලා, වතුර බැස්සද නැද්ද කියල හිතන්නවත් ඕනෙ නැති  bathroom එකෙන් නාලා එළියට එන එක කොච්චර සැපයක් කියලා හිතෙනවලු. 

මාත් කල්පනා කරා ඇත්තනෙ යකෝ ඒ කතාව කියලා. මාත් ලංකාවට ගිය දවසෙ ඉදන් කරේ අස් පස් කරන එක විතරයි. ටික දවසකින් මටත් මොකෝ කියල නිකන් ඉන්නවා. එන්න කිට්ටුව තමයි, හපෝ දැන් අර සීතලේ ගිහින් ඉදින්කො, වේලෙන්නෙ නැති වෙන්න cream ගාපන්කො, සීතල නැති වෙන්න ඇඳුම් තුන හතරක් ඇඳපන්කො කියලා හිතෙන්නෙ.  අපේ අයියා ගිය සතියෙ ලංකාවට ගිහින් ආවෙ. ඊයෙ සුසුම්ලනවා, හපෝ තව අවුරුද්දක් විතර ඉදින්කො ඉතින් මෙහෙට වෙලා  කියලා

කොච්චර දේවල් පිටරට තිබුණත්, ලංකාවෙ ඉපදිලා හැදුනු වැඩුණු මනුස්සයෙක්ට නම් ජීවිතේට ඕනෙ නිදහස සැනසීම තියෙන්නෙ  විතරයි කියලා මට හිතෙන්නෙ. ලංකාවට ගිය මාසේ ගිහින් ආවත් ආයෙත් ඉක්මණටම යන්න ඇත්නම් කියලා හිතෙන්නෙ ඒකයි. මාත් ඇඟිලි ගැන ගැන මේ බලන් ඉන්නෙ ආයෙ කවදද ආපහු  යන්නෙ කියලා.. හ්ම්.....

ඒ වුණාට ඉතින් හොරකම් ගැනයි, අපේ බදු වලින් කරන විකාර වැඩ ගැනයි හිතද්දි කලකිරෙනවා. ලංකාවෙ public transport ටික හැදිල, මිනිස්සු කරේ නගින්නෙ නැති වෙන විදිහට ගමනක් බිමනක් වෙලාවට, දාඩිය දාගන්නෙ නැතුව යන්න පුළුවන් නම්, ගෑණු ළමයෙක් ට නිදහසේ පාරක බැහැල යන්න පුළුවන් නම්, රස්තියාදු වෙන්නෙ නැතුව ඕනෙ වැඩක් කරගන්න පුළුවන් නම්, ඉතින් ලංකාව  තරම් නිදහස් රටක් තව නැහැ.