අපේ අක්කා තමයි මේ කතාව කිව්වෙ. අපේ අක්කගෙ ඉස්කොලේ මොකද්ද seminar එකක් තිබුණා කිව්වා. මොකද්ද seminar එක කියල මට මතක නැහැ.
කොහොම හරි ඒකට ගොඩක් සම්පත් දායකයො ඇවිල්ල හිටියලු කතා කරන්න. දැන් ඒකට ආපු එක සර් කෙනෙක් කතා කරන් යනවලු ඒ සර්ට පොඩි කාලෙ වෙච්ච සිදුවීමක්. අපේ අක්කලත් අයිනක වාඩි වෙලා අහගෙන ඉන්නවලු. ඒ සර් පොඩි කාලෙ එක වසරෙ ඉන්න කොට, සර් දකිනවලු එයාගෙ පන්ති භාර ටීචර් සමහර ළමයින්ට හරි ආදරෙයි කියලා. ඉතින් එයාටත් එහෙම ආදරේ ලබන්න ආසාවක් ඇති වෙලා, එයාගෙ ගෙදර තිබුණ අඹ ගහක හැදිච්ච මුල්ම අඹ ගෙඩිය අරන් ගියාලු ටීචර්ට දෙන්න.
ඒ අරන් ගිහින් ටීචර් ට කියන්න ඕනෙ වුණාලු, මම අපේ ගෙදර හැදුන මුල්ම අඹ ගහේ මුල්ම ගෙඩිය ටීචර්ට ගෙනාව කියලා කියන්න. ඒ වුණාට එයා පොඩි නිසා එයාට කියවුණේ, අපේ ගෙදර අඹ ගහේ ගොඩක් ගෙඩි හැදුනට එක ගෙඩියක් ටීචර්ට ගෙනාවා කියල වගේ දෙයක් ලු. ඒකට ටීචර්ගෙ හිත හොඳටම නරක් වුණාලු. ආදරේ ලබන්න අඹ ගෙඩියක් ගිහින් දුන්නට, වුණේ ඒකෙ අනිත් පැත්තලු. ටීචර් මෙයාට තදින් වෙනස් කම් කරන්න ගත්තාලු. ඉතින් මෙයාට ඒ පන්තියෙ ඉන්න එකත්, ඉස්කොලෙත්, ඉගෙන ගන්නත් ඔක්කොම එපා වුණාලු.
මෙහෙම ඉන්න අතරෙ මෙයාලව දෙක වසරට පාස් වෙලා. දෙක වසර පන්තියට අලුතෙන් අබේනායක කියලා ටීචර් කෙනෙක් ආවලු. ඒ ටීචර් හරිම හොඳයි ලු. ඉතින් ඒ ටීචර් නිසා මෙයාට ආයෙ ඉගෙන ගන්න ආස වෙලා. එයාගෙ ජීවිතේම වෙනස් වුණා කිව්වලු. අද මෙහෙම කතා කරන්න ලොකුම උදව්වක් වුණේ ඒ ටීචර් කිව්වලු. ඒ ටීචර් හිටියේ පොල් පොල් තවාන හරියේ, දැන් ඒ ටීචර් නැති වෙලා.. එහෙම එහෙම කියාගෙන යද්දි අපේ අක්කට හීනෙන් වගේ මතක් වෙලා, හප්පා... මේ අපේ අම්ම ගැනනෙ කියන්නෙ කියලා. අපේ අක්ක ළග හිටපු වැඩිහිටි ටීචර් කෙනෙක්ගෙ කණට කරල කිව්වලු, මිස්, මේ අපේ අම්ම ගැන කියන්නෙ කියලා. කණට කරල කියපු එක කොච්චර හොඳට කිව්වද කියනව නම්, ඒක ඒ සර්ට ඇහිලා. ආහ්.. ඒ මේ මිස් ගෙ අම්මද කියලා. ඒ සර් අහලා. අපේ අක්කත් ඉතින් පැනල උත්තර දීලා ඔව් කියලා. හොඳයි කිව්වලු. මම හිතන්නෙ අපේ අක්කට ඊට පස්සෙ කියපු ඒවා ඇහිලා නෑ.
අපේ අක්කට හරිම ආඩම්බර හිතිලා ඒ වෙලාවෙ.කොහොම හරි අක්ක මේක මට කියද්දි මටත් හරිම සතුටුයි . මොකද මම අපේ අම්ම හරිම හොඳ කෙනෙක් කියලා ගමේ අය කියනවා අහල තිබුණට මම දැනගෙන හිටියෙ නැහැ හොඳ ටීචර් කෙනෙක් කියලා. අනික ඉතින්, ගමේ අය ජීවත් වෙලා නැති කෙනෙක් ගැන නරකක් කියයි කියලාත් හිතන්න බෑනෙ. මේක තමයි පළවෙනි වතාව මම අම්මගෙ රස්සාව ගැන ගෝලයෙක්ගෙන් මෙහෙම අහපු. ඒකත් මෙහෙම අහම්බෙන්. අම්ම නැති වෙලත් අවුරුදු 36 ක් දැනට. එච්චර කාලයක් වෙලත් අර සර්ට අපේ අම්මව මතක තියෙනව කියන්නේ ඉතින් ඒක එයාගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙච්ච සිදුවීමක් වෙන්න ඇති. අපේ අක්කටවත් අපේ අම්මා ගැන පොඩි මතකයක්වත් තියෙනවද මම දන්නේ නැහැ. මට නම් කොහෙත්ම මතකයක් නැහැ. එහෙව් එකේ මේ වගේ මතකයක්, අපි අඳුරන්නෙවත් නැති කෙනෙක්ගෙන් අහන්න ලැබිච්ච එකත් ගොඩක් ලොකු දෙයක්. මම මගේ තියෙන සමහර ගතිගුණ අපේ තාත්තගෙ ගතිගුණ වලට බොහෝම සමානයි කියලා මම දන්නවා වුණාට අපේ අම්මගෙ ගතිගුණ කොහොමද කියලා දන්නෙ නෑ. මොනා වුණත් හරිම සතුටුයි මෙහෙම මේ වගේ දෙයක් අහන්න ලැබුන එක.
අපිට අම්මා ගැන පොඩි මතකයක්වත් නැහැ. එයා කොහොම කෙනෙක්ද, කොහොම ගුරුවරියක්ද කියලා දැනගන්න විදිහක් තිබුණෙත් නැහැ. ඒත් මේ කතාව අහද්දි හිතුණේ, අපිට නොලැබුණු අම්මාගෙන්, වෙන කෙනෙකුගේ ජීවිතේට කොච්චර ලොකු බලපෑමක් වෙලා තියෙනවද කියලා.
අපිට මතකයක් නැති කෙනෙක්, තව කෙනෙක්ගේ හිතේ අවුරුදු 35 කටත් වැඩි කාලයක් ගියත් අමතක නොවෙන තරම් සෙනෙහසක් ඉතුරු කරලා තියෙනවා කියන එක හිතට ලොකු සතුටක්. සමහරවිට අපිට අහිමි වුණ දේවල් ගැන අපි නොදන්න කතා ගොඩක් ඇති. ඒත් අහම්බෙන් වගේ ඇහෙන මෙහෙම කතාවක්, අම්මා ගැන අලුත් විදිහට දැනගන්න ලැබුණු තෑග්ගක් වගේ.
අපිට නොලැබුණු ආදරයක්, වෙන කෙනෙක්ගේ ජීවිතේට ආලෝකයක් වෙලා තිබුණා කියලා දැනගන්න ලැබුණ එක ඇත්තටම හිත පිරෙන සතුටක්.
මෙච්චර කාලයක් අපේ අම්ම ගැන ඒ ගුරු ගෞරවය හිතේ තියාගෙන ඉඳලා, මොකද්දෝ හේතුවකට අපේ අක්කා ඉස්සරහම ඒ කතාව කියන්න හිතුණු සර්ටත් බොහොම පිං.
No comments:
Post a Comment