Friday, February 12, 2021

පන්කුලියේ සමාධි බුද්ධ ප්‍රතිමාව (අශෝකාරාමය) - අනුරාධපුරය

අනුරාධපුරයේ අශෝකාරාමය පිහිටලා තියෙන්නේ අභයගිරිය විහාරයේ ඉඳන් 3.5km ක වගේ දුරින්. පන්කුලිය කියන ගමේ තමයි පිහිටලා තියෙන්නේ. අශෝකාරාමයේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාව ගැන අහල තිබුණට එතනට මම කවදාවත් ගිහින් තිබුණේ නෑ. කලින් වතාවක යන්න හිටියත් එතන මග ඇරුණා. මේ වතාවෙ කොහොම හරි යනවා කියලා හිතාගත්තා. කොහොම හරි Google map එක දාගෙන පණ්ඩිතයා වගේ යන්න පිටත් වුණා. 

     අභයගිරි විහාරයේ සිට පාර 


අභයගිරිය පැත්තේ ඉඳන් එනකොට ප්‍රධාන පාරෙන් දකුණට හැරිල ටිකක් අබලන් වෙච්ච පාරක යන්න තියෙන්නේ. ටිකක් කිව්වට සමහර තැන් වල ගොඩක් අබලන්. ඉස්සරහට යන්න යන්න පාර පොඩි වෙනවා. ලොකු වලවල් එහෙම අඩු නැතුව තිබුණා. ඔහොම යද්දි වෙල් යායක් මැද්දෙන් ගුරු පාරකට වැටෙනවා. මනුස්සයෙක් ගෙයක් දොරක් පේනතෙක් මානෙක නෑ. ඒ පැත්තෙ මිනිස්සු පදිංචි වෙලා නැහැ. ඈතින් හේන් වල උස ගස්වල තියෙන පැල් නම් පෙනුණා. එතකොටම අපි දැක්කා පාර මැද්දේ පිල් විහිදගෙන නටන මොණරෙක්. අපි ඉස්සරහට එද්දි එයා හෙමීට කුඹුරට බැහැලා ගියා. 





ඊට පස්සේ අපි ගියපු පාර වැටුණේ කැලයක් මැද්දට. ටිකක් අලි ඉන්නවා වගේ කියල හිතෙන අඳුරු පාරක්. අහන්න කියල මනුස්සයෙක් ළග පාතකවත් නැහැ. අපි ඒ උනත් Google map එක විශ්වාස කරගෙන ඉස්සරහටම ගියා. පොඩි දුරක් ගියාම ඒ කැලෑ පාර ඉවර වෙලා පාර දෙකට බෙදුණා. ඉස්සරහ පාර ගැන දන්නේ නැති නිසා වාහනෙන් බැහැලා පයින් ඉස්සරහට ගියා. එතකොට අපිට තේරුණා ඒ හරියෙ පාර කලින් පහු කරපු හරියට වඩානම් හොඳයි කියලා.




වෙල් යායෙන් එහා පැත්තෙ තව මොණරෙක්.




ඉස්සරහට යද්දි එක පැත්තකින් වෙල් යායකුත් අනිත් පැත්තෙන් පොඩි කැලයකුත් තිබුණා. ඒ පාරේ කොනටම වාහනේ එන්න පුළුවන්. හරවන්නත් ඉඩ තියෙනවා. 




ලස්සන වෙල් යායක් මැද්දෙන් වැටිලා තියෙන පාරක කොනේම අපිට පෙනුණා ගල් කණු තියෙන තැනක්. Google map එකට පින් සිද්ධ වෙන්න අපි අශෝකාරාමය හොයාගෙන ආපු පාර හරි. වෙල් යාය මැද්දෙන් පයින් තමයි අශෝකාරාමයට යන්න තියෙන්නෙ. 




මේ දවස් වල කවුරුවත් එන්නේ නැති නිසාද මන්දා හොඳටම වල් බිහි වෙලා. මනුස්ස වාසෙන් තොර වෙච්ච නිසාද මන්දා ආරාම භූමියෙත් මොණරු ගොඩක් හිටියා. 



අශෝකාරාමයේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාව අභය මුද්‍රාවත් ආහ්වන මුද්‍රාවත් පෙන්නුම් කෙරෙනවා.

පන්කුලියේ සමාධි බුද්ධ ප්‍රතිමාව 



මහමෙව්නාවෙ වගේම ඒ වටේම ආරාම සංකීර්ණයක් තිබුණු බව කියන්න පුළුවන් නටඹුන්, ගල් කණු තියෙනවා. මුරගල් කොරවක් ගල්, සඳකඩපහන ඒ හැමදේම ඒ අවට දකින්න පුළුවන්. චෛත්‍යක පාදමත් ඉතුරු වෙලා තියෙනවා. චෛත්‍යයේ වාහල්කඩ සවි කරල තිබුණා කියල හිතන්න පුළුවන් කණු වල පාදම ඉතුරු වෙලා තියෙනවා. ඒ කැටයම් නම් හරිම ලස්සනයි. ඒ වගේම සියුම්. 












අශෝකාරාමය වැඩිය ප්‍රසිද්ධ වෙලා නැත්තෙ ඇයි කියල නම් තේරෙන්නෙ නෑ. ඒත් ගොඩක් අය මේ පැත්තට එන්නෙ නෑ. සමහර විට මහාවංශයේ වැඩි බරක් දාපු නැති නිසා වෙන්න පුලුවන්. ඒත් එතන තියෙන ගල් කණු වලින් නම් පේනවා ටිකක් ලොකු ආරාමයක් හෝ පන්සලක් තිබුණු බවට. මහා දාගැබ් නොවුනත් මේ සමාධි පිළිමය නම් විශිෂ්ට නිර්මාණයක්.

අපි එතනින් පිට වෙනකන්ම එතන හිටපු මොණරෙක් අපි දිහා ඇහැ ගහගෙනම හිටියා. පරණ මුරකාරයෙක් ද දන්නෙ නෑ.


Sunday, January 31, 2021

දිය ඇලි දඩයම 2 (මාකෙළි ඇල්ල, අහස් බොකු ඇල්ල, පිළිතුඩු ඇල්ල)

දැනට අවුරුදු දෙකකට කලින් වගේ ගියපු තැන් ටිකක්. මේ ගමන ටිකක් විශේෂයි. 4 දෙනාගේ පවුලට තවත් එක්කෙනෙක් ගන්නවද නොගන්නවද කියලා තෝරන්න ගියපු trip එක. ඒ මනුස්සයා ඒක දැනගෙන හිටියෙ නෑ හැබැයි.  අනිත් එක, බොහොම හදිස්සියෙන් තමයි යන්න තීරණය කරේ. ගොඩාක් Plan කරපු ගොඩාක් trip ගොඩාක් ගිහින් තියෙන නිසයි එහෙම කරේ. අපි හෝමගමින් පිටත් වුණේ 6ට වගේ. නාන්න යන්න එපා, පරිස්සමින් වගේ දේවල් ගොඩාක් ඇහුණා තමාලිලාගෙ ගෙදරින්. අපි town එකකින් නවත්තලා උදේට කෑම කෑවා. හොරණ, බුලත්සින්හල හන්දියෙන් මතක විදිහට. අපි මුලින්ම ගියේ පාහියන්ගල ලෙන බලන්න. 
පාහියන්ගල ලෙන ගැන කිව්වොත්, අවුරුදු 48000 කට විතර කලින් බලන්ගොඩ මානවයා වාසය කරා කියලා සැලකෙන ලෙන.  මෙතනින් හමුවුණු වසර 38000 කට වඩා පරණ මානව අස්ථින් වලින් හඳුනා ගෙන තියෙන විදිහට ඒවා ආසියාවේ නූතන මානවයාගේ (Homo sapiens sapiens) පරණම අවශේෂ කියලයි කියන්නෙ. ඒ වගේම අනුරාධපුරය රාජධානිය ලෙස තිබෙන කාලයේ චීනයේ ඉඳලා ලංකාවට වැඩම කළ චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වන “පාහියන්” හිමියන් මෙම ලෙන තුල භාවනා යෝගීව වැඩ වාසය කරා කියලා සැලකෙන නිසා මෙම ලෙන පාහියන් ලෙන කියල නම් කරලා තියෙනවා. මේ ලෙන දඹුලු ලෙන් විහාරය වගේ තුන් ගුණයක් විශාලයි කියලා කියනවා. ඒ වගේම මේ ලෙන ඇතුලේ එකම වෙලාවෙ මිනිස්සු 3000 කට වගේ නොතෙමී ඉන්න හැකියාව තියෙනවාලු. ඒ කාලෙ භාවිතා කරපු ආයුධ, ආභරණ වගේ තව ගොඩක් දේවල් මෙතනින් හමුවෙලා තියෙනවාලු. පාහියන්ගල ලෙනට යන පඩිපෙල නගින්න නම් පොඩ්ඩක් අමාරු වුණා අපිට කාලෙකින් නැග්ග නිසා.
 




අපි ඊට පස්සේ ගියේ මාකෙළි ඇල්ල බලන්න. යන අතරමග හම්බෙච්ච පාලමක් උඩ එකක් කරන්නත් අමතක කරේ නෑ. නෙළුකැටිය රක්ෂිත වනාන්තරයට අයිති මාකෙළි ඇල්ල කළු ගඟට එකතු වෙලා තමයි මුහුදට වැටෙන්නේ. ඇල්ල බලන්න පොඩ්ඩක් පහලට යන්න ඕනෙ පඩිපෙලක් බැහැලා. ඇල්ල ගාවින් නාන්න නම් බැහැ. 
 



ආපු පාර දිගේම ටිකක් දුර යද්දි නාන්න තැනක් හම්බුණා. එතනින් හොඳට නාලා දවල්ටත් කාල අපි අත්වැල්තොට පැත්තට යන්න පිටත් වුණා. අපි එද්දි ආවේ  ගඟ දිගේ උඩහට. ඒ හරියේ පාර නම් එච්චර හොඳ නෑ. දැන් නම් කොහොමද දන්නේ නෑ. හොඳටම මඩ වෙලා. අපි බස්නාහිර පළාතේ මායිමෙන් සබරගමුව දිස්ත්‍රික්කයටත් ගිහින් ආයෙත් බස්නාහිර පළාත පැත්තටම ආවා අත්වැල්තොට පාළම හොයාගෙන. අත්වැල්තොට කබරගොයි ඇල්ල ගැන දැනගෙන හිටියට හරියටම තැන හොයාගන්න අමාරු වුණා. ඒ පැත්තේ කීප දෙනෙක්ගෙන්ම ඇහුවට හරියටම කියන්න දන්නේ නෑ. හමෝම කියන්නෙ මේ හරියෙ දිය ඇලි කීපයක්ම තියෙනවා කියල විතරයි. අපි පාළම පහු කරන් ඇවිත් පොඩි දිය ඇල්ලක් හොයාගත්තා. ඒකට කියන්නේ පිලිතුඩු ඇල්ල කියලා. ඒත් ඒක අපි හොයපු එක නෙවෙයි. 

පිලිතුඩු ඇල්ල

කොහොම හරි අන්තිමේ කබරගොයි ඇල්ල හොයාගත්තා. ප්‍රධාන පාරෙන් උඩට යන්න පොඩි පාරක් තියෙනවා. ඒකේ උඩට ගියත් ඇල්ලක් හොයාගන්න බැරි වුණා. පස්සේ ඇල්ලේ සද්දෙ ඇහෙන පැත්තට ගිහින් තමයි අපි ඇල්ල හොයාගත්තේ. ඇල්ල ගාවට යන්න ටිකක් අමාරුයි. අමාරුවෙන් හොයාගත්ත නිසා ද මන්දා ඒ වෙලාවෙ එතන පුදුම ලස්සනක්. පස්සෙ අපි දැනගත්තා ඒ ඇල්ලටම අහස් බොකු ඇල්ල කියලත් කියනව කියලා.


කබරගොයි ඇල්ල




Charගෙ නැන්දලගෙ ගෙදර ගිහින් හවසට තේ බීලා බදුරලිය, අගලවත්ත, මතුගම හරහා ආයෙත් අපි එදා කොළඹ ආවා. ආ.. අපි හිතුවා අලුත් සාමාජිකයා හොඳයි කියලා. 

Sunday, January 24, 2021

ලෝකාභිමානයේ සංකේතය - ෂුක්රා මුනව්වර්


Covid නිසා වෙච්ච හොඳ අතරෙ මෙහෙම දේවලුත් තියෙනවා. කොහොමද Laptop  එකක් නැතුව Online ඉගෙන ගන්නේ කියන එක රෑ තිස්සෙ හිතල හිතලා ඒක කරගන්න අවස්ථාවක් හොයගත්තු විදිහ හරිම අපූරුයි. ෂුක්රා කියන්නෙ අවස්ථා අපි ගාවට එනකන් ඉන්නේ නැතුව අපිට අවස්ථා හොයාගෙන යන්න කියලා. මේ කතාවෙ හොඳම දේ තමයි, ඇය නිසා මේ රටේ එකක් නැතුව ඉගෙන ගන්න බැරුව ඉන්න ළමයිගෙ හඬ මේ රටේ මිනිස්සුන්ට ඇහුණ එක.

අදටත් අපේ රටේ ළමයින්ට අධ්‍යාපනය අවශ්‍ය පහසුකම් සලසන්න අපේ පාලකයින්ට කිසිම වැඩ පිළිවෙලක් නැහැ. අවුරුද්දක් ඇතුලත හැම ළමයෙක්ටම Computer එකක් දෙන්න target එකක්,  නිසි වැඩ පිළිවෙලක් නැහැ. හදන්න ඕනෙ ලොකුම මැණික් කුළුණ ඒකයි කියලා ගොඩක් අයට තේරුමක් නැහැ. ඒත් ෂුක්රා ඒකෙන් පැරදුනේ නැහැ. අන්තිමේ ෂුක්රා එයාට විතරක් නෙවෙයි තව ළමයි කිහිප දෙනෙක්ටම Laptop අරන් දෙන්න තරම් දක්ෂ වුණා. මේ රටේ තව දහස් ගණන් ෂුක්රා ලා ඇති. හැබැයි ෂුක්රා ඒ ප්‍රශ්නෙ වෙන කාගෙවත් පිට දාලා පරාජය භාර ගන්න කැමති වුණේ නෑ. ඒක තමයි විශේෂත්වය. 

ප්‍රශ්න එකින් එකට උත්තර හොයාගෙන ඉස්සරහට ගියපු විදිහ හිතාගන්නත් බැරි තරම්.  නොපසුබට උත්සාහය, ධෛර්යය, දැනුම මේ සියල්ල එකතු වෙද්දි වාසනාවත් එකතු වෙනවා. එයාව මෙතෙන්ට අරන් එන්න ඔයාගේ අම්මා, තාත්තා, ඉස්කෝලෙ ගුරුවරුත් ගොඩක් මහන්සි වෙන්න ඇති.  අන්තිමට ෂුක්රා කියපු දෙයක් තියෙනවා. "මට මෙතෙන්ට එන්න මාව උනන්දු කරපු වගේම මාව විවේචනය කරපු, හිනා වුණු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ අය නිසයි මම අද මෙතන ඉන්නේ". 

පුංචි උනත් අපි හැමෝටම ඔයාගෙන් ඉගෙන ගන්න පුළුවන් දේ අප්‍රමාණයි. අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකයෙත් ඔයාගෙ නම බැබලේවි දවසක. ඉතින් ෂුක්රා ලෝකාභිමානය ලොවට හඳුන්වලා දීපු ඔයාට සුභ අනාගතයක් පාර්ථනා කරනවා හදවතින්ම !












සිරස ලක්ෂපතියේ රුපියල් මිලියන දෙකේ ජයග්‍රාහිකාව - 2021-01-23

Wednesday, January 6, 2021

ජීවිතය


ප්‍රශ්නය  :     හිතින් හඩනවා යලි යලිත්, නොමදැක නිමාවක් ...
                    වෙහෙසයි දැනෙන්නෙ ජීවිතේ, ඉවසුවා දැන් මහ මෙරක්...
                    කඩාවැටෙනව හදවතින්, කුමක් වීදෝ අපිට මේ ලෙසින් ...
                    අනේ එපා මට තවත් දුක්,
                    හිතට නෑ මගෙ නිමාවක් ...


පිළිතුර    :   ඉපදීම සමඟ උරුමයි මේ දුක් ගිනි කන්ද
                    ඉවසීම නොව ගැලවීමයි කල යුත්ත 
                    කොපමණ දුක් වින්දත් මහ මෙර ලෙසට
                    ගැලවී නොගියහොත් උරුමයි ඔය දුක නැවත


Tuesday, August 4, 2020

ආදරෙයි මා ඔබේ නිහඬ බවට...


ආදරෙයි මා ඔබේ නිහඬ බවට
නිහඬ සිතුවිලි වලට...
අරුතක් ඇති සුසුම් වලට..
වසඟ විය මා ඒ දඟකාර නැති සැහල්ලු බවට..
පිට නොවන වචන වලට..
රාගය නොවන රැකවරණයට..
නොදන්නමුත් නුඹේ සිතුම් පැතුම්
දනිමි මගේ හද
නතර වී ඇති බව නුඹ ළඟ
නුඹේ නිහඬ බව සමඟ...



Thursday, March 19, 2020

සොභාදහමෙ කනේ පා​ර - Corona

ජාතියෙන් ආගමෙන් හමේ පාටෙන් බේද බින්න වෙලා, මහ පොළොව බෙදා ගන්න බැරුව, කොටින්ම එදා වේල හම්බ කරන් කාල ඉන්නෙ නැතුව, අපි බොහෝම දියුණුයි කියලා උදම් අනල තමන්ගෙ රට මදි වෙලා අනෙත් රටවලුත් අල්ලන්න ගියපු මිනිස්සුන්ට සොභාදහම ඉගැන්නුවා උඹලා තාම බොහොම පුංචි අංශුවක් වත් පරද්දගන්න බැරි මේ සොභාදහමෙම පුංචි කොටසක් කියලා.කාලයක් තිස්සෙ සොභාදහම බලාගෙන හිටියා, මේ ලෝකෙ අපේ, අපේ ආගමේ, මේ ලෝකෙ ඉන්න ඕනෙ අපේ අය විතරයි කියලා. දැන් තමයි මේ මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ මිනිස්සු හැමෝම එකයි කියලා. ඒකත් සති දෙකකින් අමතක වෙයි ද දන්නෙ නෑ. මිසයිල ගහ ගෙන, බෝම්බ පත්තු කරගෙන, මිනිස්සුන්ට ලෝකෙට පරිසරයට හානි කරගෙන දුවපු දිවිල්ල. මගේ අම්මේ ! තව පොඩ්ඩෙන් ලෝක යුද්ධෙකුත් එනවා.


 

සොභාදහමෙම කොටසක් වෙච්ච සතා සර්පයා මරාගෙන, සතා සර්පයා විතරක් නෙවෙයි මිනිස්සුන්වත් මරාගෙන, සත්තුන්ටත් උන් හිටි තැන් නැති  කරලා ලෝකෙ අල්ලන්න ගියා මැදැයි. අන්තිමට ඇති මනුස්සයයි, නැති මනුස්සයයි දෙන්නම එකම බෝට්ටුවට වැටුණා.




මිනිස්සු දුවපු දිවිල්ල නවත්තන්න ඕනෙ වුණේ ඇහැට පේන්නෙවත් නැති බොහොම පුංචි අංශුවක් විතරයි. ඒ දුවපු දිවිල්ල නතර කරලා හති ඇරලා බැලුවාම තමයි පරිසරයේ ලස්සන පේන්නෙ. වෙනදා දූවිල්ලෙන් වැහිලා තිබ්බ අහස නිල් පාට වෙලා, වෙනදාට පේන්නෙ නැති මල් පිපිලා, වතුර නිල් පාට වෙලා, මිනිස්සුන්ට බයේ හැංගිලා හිටපු සත්තු එළියට ඇවිල්ලා නිදහසේ කෑම හොයන් යනවා. එතකොට මේ මිනිස්සු මෙච්චර දවසක් දුවලා තියෙන්නෙ මොනවා පස්සෙන්ද?




ලෙඩට බයේ ගෙදර ඉන්නකොට තමයි එහා ගෙදර එකාව අඳුර ගන්න පුළුවන් වුණේ. මෙච්චර දවසක් මූණ බලලා කතා කරන්න බැරි වුණ එකා එක්ක සිංදුවක් කියලා දුක බෙදා ගන්න පුළුවන් වුණා.  වෙනදා එළියෙන් හොයන සතුට මෙදා ගෙදර ඇතුලෙන්ම හොයන්න ගත්තා. වෙනදා ගොඩක් දුර තිබ්බ සතුට අද ගේ ඇතුලෙම. මෙච්චර දවසක් මව් රට එපා වෙලා බැන බැන හිටපු අයට මව් බිම මතක් වුණා. රට යන්න පොරකාපු අයට මව් රටට එන්න පොරකන්න වුණා.




ඒ අස්සේ හැංගිලා යට ගිහිල්ලා තිබ්බ මනුස්සකම කියන දේ එළියට ඇවිල්ලා. වෙනදා සල්ලි වලට වැඩ කරන වෛද්‍යවරු හෙද හෙදියො මෙදා මහන්සි වුණේ එක ජීවිතයක් හරි බේර ගන්න. දවස් ගාණක් එක දිගට රෑ නිදි නැතුව තමන්ගෙ කොණ්ඩෙ පවා කපලා දාලා මිනිස්සු වෙනුවෙන් පුදුමාකාර කැප කිරීමක් කරපු මිනිස්සු හිටියා. ප්‍රතිකාර කරන්න රෝහල් හැදුණෙ විදුලි වේගෙකින්.




එදා වේල හම්බ කරන් කන අපේම අය වෙනුවෙන් කීය කීය හරි එකතු කරලා තවත් කෙනෙක්ගෙ කුසගින්න නිවපු අය හිටියා. ඉතින් මේ ලෝකෙ තිබ්බ නරක යටපත් කරලා හොඳ ඉස්මතු කරන්න මේ පුංචිම පුංචි අංශුවට පුළුවන් වුණා.




තාමත් ඉතින් මේ පාඩම ඉවර කරගන්න බැරි වුණා. හැමෝම එකතු වුණොත් ඉක්මණින්ම ඉවර කරගන්න පුළුවන් වෙයි. නැත්නම් ලෝකෙ තිබ්බටත් වඩා නරක තැනක් වෙයි. අපේ රටෙත් මේ අංශුව පරද්දන්න ගන්න මහන්සිය සාර්ථක වෙන්න හැමෝම එකතු වෙන්න වෙනවා. මේ දුවන දිවිල්ල පොඩ්ඩක් නතර කරලා නැවතිලා බලන්න. හැමෝම තමන්ගෙ වගකීම ඉටු කලොත් ඉක්මන්ට මේ කරදරයෙන් ගොඩ එන්න පුලුවන් වෙයි..


(Photos ටික ගත්තේ FB එ​කේ එහෙන් මෙහෙන්..)

Friday, February 7, 2020

නිදහස් අධ්‍යාපනයේ මලගම

නිදහස් අධ්‍යාපනය වල පල්ලට ගෙනියන්නේ උපාධි කඩ හිමි කරුවන් නොව, රට වැසියකුගේ තේකකින් පවා ගසන බදු වලින් උපාධි ගෙන ගෙදරට වී වැඩක් පලක් නැතුව කා බී සිටින රැකියා අපේක්ෂිත උපාධි හිමිකරුවන් සහ පාරවල් ගානේ ඉල්ලීම් ඉල්ලමින් කෑගසන උද්ඝෝශන කරන රජයේ විශ්වවිද්‍යාල වල උපාධි අපේක්ෂකයන්ය. තව කලක් යන විට නිදහස් අධ්‍යාපනය පසෙකලා මුදල් ගෙවමින් උපාධි හදාරන්නට වැඩි ඉල්ලුමක් ඇති කරන්නට උන් දැනුවත්ව හෝ නොදැනුවත්වම දායක වන්නේය. ඔබ දැනට වීරයෙකි. ව්ප්ලවවාදී අදහස් දරන්නෙකි. එහෙත් තව අවුරුදු 10කින් ව්ශ්ව විද්‍යාලයට එන්නට සිටින දරුවන්ගේ හතුරෙකි.

රජයේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයිනි, ඔබලාට මුදල් අඟහිගකම් ඇත්නම්, රජයෙන් ලැබෙන අධාර මදි නම් දවසට පැය දෙකක් රැකියාවක් කරන්න. එලෙස අමාරුවෙන් කට්ට කා ගොඩ වූවන් අද සැප විදින්නේය. සියළු විය හියදම් රජයෙන් ලැබෙන තුරු කට බලියාන බලා සිටීමෙන් ඔබේත් රටේත් කාලය හා ශ්‍රමය අපතේ යන්නේය. පෞද්ගලික විශ්ව විද්‍යාලයට යන ඔබේම වයසේ පසු වන්නන් අමතර රැකියා කරමින් ඉගෙන ගන්නා අතර රැකියාවකට අවශ්‍යම අත්දැකීම් ද ලබන්නේය.

ඉල්ලීම් දිනා ගැනීමට සටන් වැද, වැඩ වර්ජන වලට මුහුණ දී, ඔබ වසර ගණනාවක් පමා වී උපාධිය අතට ගන්නා විට, පෞද්ගලික ආයතන වල උපාධිය හැදෑරූ ඔබේ මිතුරා වසර ගණනාවක පලපුරුද්ද ලබා උසස් රැකියාවකට ද හිමිකම් කියන්නේය.

උපාධි හිමිකරුවනි, ඔබට උපාධියක් ලබාගැනීමට අවශ්‍ය සියළු දේ රට වැසියාගෙන් ලබාගෙන අවසානයේ රැකියාවක් ද දියව් කියන්නේ නම් ඔබගේ උපාධියෙන් ඇති ඵලය කුමක්ද? ඔබෙන් රටට ලැබෙන්නේ කුමක්ද? ඔබගේ උපාධියේ ගුණත්වය මනින්නේ ඔබගේ සාර්ථක බවින්ය.
කලක් ගතවන විට රජයේ උපාධිදාරීන් නිකමුන් බවට රට වැසියාම විසින් හන්වඩු ගසන දිනය වැඩි ඈතක නැත. එයින් ඔබ නැති කරන්නේ හද්ද පිටිසර ගමක සිටින දක්ෂයන් ගේ හෙට දවසයි. ලංකාවේ අනාගතයයි.